Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝබේගේ වියෝවෙන් ලොව සසළ වෙයි

කෝබේගේ වියෝවෙන් ලොව සසළ වෙයි

දමින්ද විජේසූරිය - 2020 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝබේ බ්‍රයන්ගේ හදිසි වියෝව ඇමරිකානු පැසිපන්දු ලෝලීන්ට තවමත් ඇදහිය නොහැකි ප්‍රවෘත්තියක් වී තිබේ. ඉරිදා උදෑසන සිදුවූ මෙම විපත හේතුවෙන් පැසිපන්දු ලෝකයම මහත් සේ සසළ වී තිබේ.

දශක දෙකක් පුරා ඇමරිකානු පැසිපන්දු ලෝලීන් අමන්දානන්දයට පත්කළ කෝබේ බ්‍රයන් ඉරිදා උදෑසන හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේ තම දියණිය වූ 13 හැවිරිදි ගිගි සමගින් යමින් සිටි අතරතුරදීය. බ්‍රයන් සමගින් හෙලිකොප්ටරයේ ගමන්ගත් 9 දෙනාම මරුවැළඳ ගත්හ. ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයා පැවසුවේ කඳුකර ප්‍රදේශයක් වූ කලබාසස්හිදී සිදුවූ ගුවන් අනතුරෙන් කිසිවකු දිවිගලවා නොගත් බවයි.

මිය යන විට බ්‍රයන් 41 වැනි වියේ පසු වුවද කෝබේ බ්‍රයන් හැඳින්වූයේ ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩාවේ ජීවමාන පුරාවෘතයක් ලෙසිනි.

කෝබේගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩා සමාජ දෙකක් වූ ඩෙට්රොයිට් පිස්ටන්ස් සහ ක්ලෙව්ලන්ඞ් අතර සඳුදා පැවැති තරගයේදී තත්ත්පර 24 ක් සහ තත්ත්පර 8 ක් පන්දුව ඉදිරියට නොයවා දෙපිලේ ක්‍රීඩකයෝ මියගිය සුපිරි තරුවට බුහුමන් දැක්වූහ. අංක 8 සහ 24 යනු කෝබේ බ්‍රයන්ගේ බැනියමේ සටහන් වූ අංක විය. කොළඹ හැව්ලොක් ටවුමේ හෙන්රි පේදි්‍රස් පිටියේදී සඳුදා පැවැති වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝත් එවැනිම ආකාරයෙන් කෝබේ බ්‍රයන්ට ආචාර කළහ.

ඇමරිකානු ජාතික පැසිපන්දු ශූරතාවලිය පස් වතාවක් දිනාගත් ලොස් ඇන්ජලිස් ලේකර්ස් ක්‍රීඩා සමාජයේ සුපිරි තරුව වූ කෝබේ බ්‍රයන් ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරමින් 2008 බීජිංහිදීත් 2012 ලන්ඩන්හිදීත් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් දිනාගත් ක්‍රීඩකයෙකි. 1996 දී ඇමරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියට එක්වූ බ්‍රයන් 2016 දී සිය වෘත්තීය දිවියෙන් විශ්‍රාම ගත්තේය.

ඇමරිකානු ජාතික පැසිපන්දු තරගාවලියේදී කෝබේ බ්‍රයන් සතුව පැවැති වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව ඔහුගේ අනපේක්‍ෂිත අභාවයට පැය කිහිපයකට කලින් ලේකර්ස් පිලේම ලී-බෝර්න් ජේම්ස් විසින් අත්පත් කරගන්නා ලදි.

 


අදහස් (0)

කෝබේගේ වියෝවෙන් ලොව සසළ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.