Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෙනින් - ස්වෙටෙක් ඉලක්ක දෙකක එල්ලය ගනිති

කෙනින් - ස්වෙටෙක් ඉලක්ක දෙකක එල්ලය ගනිති

editorial - 2020 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කොරොන වයිරස් වසංගතය හේතුවෙන් මාස හතරක් ප්‍රමාද වීමෙන් පසුව ආරම්භ වූ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහ තරගය සඳහා සොෆියා කෙනින් සහ ඉගා ස්වෙටෙක් සුදුසුකම් ලබා සිටිති. ඉදිරි පෙළ ක්‍රීඩිකාවන්ගේ ඇදහිය නොහැකි පරාජය වීම් වලින් ගහණ වූ මෙම තරගාවලිය මෙවර පැවැතියේ යුරෝපය කවදත් ගිනියම්වන ගිම්හානයේ නොව, සිසිරයට පෙර එළැඹෙන හේමන්තයේදීය.

එහෙත් එහි නාට්‍යානුසාර සිදුවීම් වලින් අඩුවක් නොවිණ.

මෙවර අවසන් මහ තරගය සිව් වසරකට පෙර පැවැති ප්‍රංශ විවෘත (කනිෂ්ඨ) තරගාවලියේ තරගයක ප්‍රතිනිර්මාණයකි. 2016 කනිෂ්ඨ ප්‍රංශ විවෘත තරගාවලියේ තරගයකදී ප්‍රතිවාදීන් වූ සොෆියා කෙනින් සහ ඉගා ස්වෙටෙක් මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති. දෙදෙනාම ප්‍රංශ විවෘත ශූරතාව දිනාගැනීමේ උත්සාහයක නිරතව සිටියද ඔවුන් දෙදෙනාට ඇත්තේ එකිනෙකට වෙනස් ඉලක්ක දෙකකි.

මේ වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ශූරිය වන සොෆියා කෙනින් සිය දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ඉලක්ක කරගනිමින් සිටින්නීය.   තවමත් 19 හැවිරිදි ඉගා ස්වීටෙක් පෝලන්තයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරිය වන්නට සිහින දකින්නීය.

සොෆියා රෝලන්ඩ් ගැරොස් වෙත පැමිණියේ රෝමයේදී වික්ටෝරියා අසරෙන්කා අතින් ලද පරාජයකින් පසුවය. ඇමරිකානු ක්‍රීඩිකාවක වන සොෆියා, මින් පෙර මැටි පිටි මත පැවැති තරගාවලියකදී අඩුතරමේ අර්ධ අවසන් පූර්ව වටයට වත් පිවිස නැත. නමුත් දැන් එකම වසරකදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දෙකක් දිනාගැනීමේ අවස්ථාව ඇය ඉදිරියේ ඇත.

තවමත් 21 හැවිරිදි ක්‍රීඩිකාවක් වන සොෆියා මෙල්බර්න්හි ලද අත්දැකීම් සහිතව සිටින බැවින් ස්වීටෙක්ට වඩා වාසි සහගත තත්ත්වයක සිටී. ඇය සිතන්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක අවසන් මහ තරගයට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන මානසික පීඩනය හේතුවෙන් සිය ප්‍රතිවාදිනිය වන ස්වීටෙක් අපහසුතාවට පත්වනු ඇති බවයි.

"මා එය දන්නවා. මා එවන් තත්ත්වයකට මුහුණ දීලා එය ජයගෙනත් තිබෙනවා.."
"පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරඟයට පෙර තියෙන හැඟීම් මොනවාදැයි මා දන්නවා. මා බලාපොරොත්තු වන්නේ ඇය ටිකක් නොසන්සුන් වනු ඇතැයි කියාය" යයි සොෆියා කියන්නීය.

19 වන වියේ පසුවන ස්විටෙක් 2001 දී කිම් ක්ලියෙස්ටර්ස්ගෙන් පසුව ප්‍රංශ විවෘත තරගාවලියේ කාන්තා අවසන් තරඟයට පිවිසි ලාබාලතම ක්‍රීඩිකාව වේ.  පෝලන්ත ක්‍රීඩිකාවක වන ස්වීටෙක් පළමු සහ දෙවැනි ලෝක යුද්ධ අතර කාලයේදී පෝලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන  ජැඩ්විගා ජෙඩ්රෙජොව්ස්කාගේ දස්කම් සමකරන්නීය. ජැඩ්විගා ජෙඩ්රෙජොව්ස්කා 1939 දී ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

වසර අටකට (2012) ඉහතදී විම්බල්ඩන් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ඇග්නිස්කා රඩ්වන්ස්කාට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරඟයකට පිවිසි දෙවන පෝලන්ත ජාතික ක්‍රීඩිකාව ස්වීටෙක්ය. ඇය මීට පෙර කිසිදිනෙක ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක අවසන් 16 න් ඔබ්බට ගොස් නැත.

"මම දැන් පහසුවෙන් ජය ගත්තා වුණත් මේ අවසන් තරගයේදී මට වෙනත් මට්ටමකින් ක්‍රීඩා කරන්න වෙනවා" යයි ස්වීටෙක් පැවසුවාය.
"මට නැතිවෙන්න දෙයක් නෑ... මොකද මමයි මෙතන පීඩිතයා.. ඒ හින්දා මට කරන්න පුළුවන් හැම දේම මම කරනවා" යයිද ඇය කියන්නීය.

එවකට යන්තම් 15 ක් වූ ස්වීටෙක් 2016 දී ප්‍රංශ විවෘත (කනිෂ්ඨ)  තරගාවලියේදී ලකුණු 6-4, 7-5 ක් ලෙස සොෆියා කෙනින් පරාජය කළාය. එහෙත් මෙවර ඇය පසුවන්නේ ඕනෑම දෙයක් වුණාවේ යන සිතිවිල්ලෙනි. එවන් සිතිවිල්ලක පරාජයේ බියක් නැත.

- 213

 


අදහස් (0)

කෙනින් - ස්වෙටෙක් ඉලක්ක දෙකක එල්ලය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.