Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන මධ්‍යස්ථාන රැසක් වැසීයාමේ අවදානමක

කායවර්ධන මධ්‍යස්ථාන රැසක් වැසීයාමේ අවදානමක

නාමල් පතිරගේ - 2020 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කුලී පදනමින් පවත්වා ගෙන යන කාර්වර්ධන මධ්‍යස්ථාන රැසක් ආදායම් අහිමිවීමෙන් වැසීයාමේ තර්ජනයට ලක්ව තිබෙන බවත් එහි සේවය කරන කායවර්ධන උපදේශකවරුන් හා පුහුණුකරුවන්ගේ  රැකියා අහිමිවීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්ම්ලනයේ හිටපු සභාපති ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන මධ්‍යස්ථාන සංගමයේ අනුශාසක ජාඇල ප්‍රාදේශීය ලේකම් කපිල කුමාර මහතා පවසයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ නිවෙමින් පවතින මේ මොහොතේ රජය රූපලාවන්‍ය මධ්‍යස්ථාන පවා විවෘත කිරීමට අවසර ලබාදීම තුළින් තවදුරටත් රට තුළ කායවර්ධන මධ්‍යස්ථාන වසාදමා තිබීම ගැටලුකාරී තත්ත්වයක් බවත් ඔහු පැවසුවේ රාගමදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දිවයින පුරා ස්වාධීන කායවර්ධන මධ්‍යස්ථාන (ජිම්) මේ වනවිට වසාදමා තිබෙන අතර ශ්‍රී ලංකා ශාරීරික යෝග්‍යතා සම්මේලනය එම මධ්‍යස්ථාන නැවත ජනතාවට  විවෘත කිරීම සඳහා යෝජනාවලියක් මේ වනවිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට ඉදිරිපත් කර තිබේ. කෙසේ වුවත් ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයි  මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසූ එම සම්මේලනයේ සභාපති හා දකුණු ආසියානු ක්‍රීඩා විද්‍යායතනයේ සභාපති ආචාර්ය අරවින්ද විජේමාන්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕනෑම කොන්දේසියකට හා නියෝගයකට යටත්ව කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට ශ්‍රී ලංකා යෝග්‍යතා සම්මේලනය සහයෝගය දක්වන බවත් පැවසීය.

මාධ්‍ය හමුවට එක්වූ ලෝක කායවර්ධන ශූර  ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් මහතා පැවසුවේ  කායවර්ධන මධ්‍යස්ථාන කියූ  පමණින් බොහෝ දෙනකු සිතන්නේ  කායවර්ධනය ගැන පමණක් බවත් එහෙත් එයින් රටේ ජනතාවගේ සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතාවන් පවත්වාගැනීමට අදාළ වන අසීමිත  සේවාව ඔවුන්ට අමතකවී තිබෙන බවයි.

 කොරෝනා වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක වෙමින් පවතින තත්ත්වයක් තුළ අනවශ්‍ය දේවල් පවා සිදු වෙමින් පවතින බවත් රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයට දැඩි බැඳීමක් පවතින කායවර්ධන මධ්‍යස්ථාන  ඕනෑම කොන්දේසියක් මත විවෘත කිරීමට එහි  හිමිකරුවන් සූදානමින් සිටින බවත් ලූෂන්  පුෂ්පරාජ් මාධ්‍ය හමුවේදී පැවසීය.

මම මෙතන කතා කරන්නේ කායවර්ධන මධ්‍යස්ථාන අයිතිකරුවකු හැටියට නොවේ. මට එහෙම  රටේ කොතනකවත් ජිම්එකක අයිතියක් නෑ. මම කතා කරන්නෙ  ක්‍රීඩකයකු හැටියටයි. මේ ප්‍රශ්නය රටේ මිලියන 22ටම බලපාන ප්‍රශ්නයක්. පවුල් වශයෙන් ගත්තොත් මේ ප්‍රශ්නය රටේ පවුල් ලක්ෂ  54කට බලපාන දෙයක්.

ජාත්‍යන්තර කායවර්ධන තරගාවලි සියල්ලම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබෙනවා. ඒ නිසා කායවර්ධන මධ්‍යස්ථාන වසාදැමීම ගැන ක්‍රීඩකයන් හැටියට මේ වෙලාවෙ හැටියට අපිට ලොකුම ප්‍රශ්නයක් නොවේ. දැන් අපි කතා කරන්නේ මේ  වෘත්තියේ නියැලී ඉන්න වෘත්තිකයන් වෙනුවෙන් වගේම රටේ ජනතාවගේ සෞඛ්‍ය  ගැනත් වෙනුවෙනි.

කොරෝනා වසංගතය  මේ වනවිට වේගයෙන් පැතිර යන රටක්  බවට පත්ව තිබෙන බ්‍රසීලය කායවර්ධන මධ්‍යස්ථාන සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවායයි ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ වැඩිදුරටත් පැවසීය.

වසර 2007 දී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපතිවරයා හැටියට කටයුතු කරන අවධියේ තමා රට තුළ ස්ථාපිත කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතිය සඳහා  යෝජනාවලියක් සකසන ලෙස රජයට යෝජනා කර සිටි බව  මෙම මාධ්‍ය හමුවේදී කපිල කුමාර මහතා පැවසීය. එහෙත් එය ඉටු නොවූ බැවින් ප්‍රමිතියෙන් තොර කායවර්ධන මධ්‍යස්ථාන රටපුරා හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින්  පවතින බවත් ඔහු මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

මේ වනවිට රට තුළ  කායවර්ධන මධ්‍යස්ථාන 5000ක් පමණ ස්ථාපිත වී තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ  ලියාපදිංචි වී ඇත්තේ සීමිත ගණනක් බව වාර්තාවේ. එම කායවර්ධන මධ්‍යස්ථාන බහුතරයක්  මේ වනවිට පවත්වාගෙන යන්නේ කුලී  ස්ථානවල බවත්  කොරෝනා  වසංගත තත්ත්වය හමුවේ ආදායම් අහිමිව කුලියගෙවා ගැනීමට පවා නොහැකිව පසුවන බවත් කායවර්ධන ම්‍යස්ථානවල ව්‍යායාම් උපකරණ  හා භාණ්ඩ ඉවත් කර ගන්නා ලෙස එහි අයිතිකරුවන් දැනුම්දීමෙන් කායවර්ධන මධස්ථාන හිමිකරුවන් කබලෙන් ලිපට වැටී ඇතැයි මාධ්‍ය හමුවට සහභාගි වූ කායවර්ධන ප්‍රවීණයෝ පැවසූහ.

මෙම මාධ්‍ය හමුවේදී ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන මධ්‍යස්ථාන සංගමයේ  සභාපති එච්.එම්. වජිර හේවාමාරඹගේ, ආසියානු රන් පදක්කම්ලාභී කායවර්ධන ශූර නදී නෙරංජන් යන මහත්වරුද අදහස් දැක්වූහ.

මාධ්‍ය හමුවේදී ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් අදහස් දැක්වූ අයුරු. ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපති ජාඇල ප්‍රදේශීය ලේකම් කපිල කුමාර මහතා ද  ඡායාරූපයේ වෙයි.


අදහස් (0)

කායවර්ධන මධ්‍යස්ථාන රැසක් වැසීයාමේ අවදානමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.