Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතය අඳුරුයි

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතය අඳුරුයි

නාමල් පතිරගේ - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනාගතයක් නොපෙනෙන තරමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කඩා වැටී තිබෙන බවත් කනගාටුවට කරුණ වන්නේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අසීමිත වියදමක් දරා තිබිය දී එම තත්ත්වය උදා වී තිබීම බවත් ක්‍රීඩා ඇමැති ධුරයෙන් සමුගත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (18 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට සමු දෙමින් පැවති හමුවක දී හිටපු ඇමැතිවරයා එසේ පැවසීය.

ක්‍රීඩාවට ක්‍රීඩා අමාත්‍යාංශය අසීමිත වියදමක් දැරුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බලාපොරොත්තු වන අපේක්ෂා ඉටුවීම අවම තත්ත්වයකට පත්වීම තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ මේ වන විට පදක්කම් එකකට දෙකකට සීමා වී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

හරීන් ප්‍රනාන්දු මහතා 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සම්මතවීමෙන් පසුව මෙරට පත් වූ 14 වැනි ක්‍රීඩා ඇමැතිවරයායි. ඔහු ක්‍රීඩා ඇමැති ධුරය දැරීම ඉතා කෙටි කාලයකට සීමා වූ අතර ඔහු ඇමති ධුරයේ වැඩ බාර ගත්තේ මෙම වසරේ 2018 දෙසැම්බර් 21 වැනිදාය.
 
පසුගිය සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත් වීමත් සමගින් හරීන් ප්‍රනාන්දු මහතා සිය ඇමති ධුරයේ ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

තමා ඇමති ධුරයෙන් සමු ගැනීමට දින කීපයකට පෙර හෝ ක්‍රීඩාව දූෂණයෙන් වළක්වා ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට හැකි වීම පිළිබඳව වඩාත් සතුටු වන බවත් එමගින් මින් ඉදිරියට රටේ ක්‍රීඩාවේ දූෂිතයන් වන වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමේ අවස්ථාව සැලසී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සිය සමු ගැනීමේ දී හරින් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.
“මම කෙටි කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු කළත් මට එහි කාර්ය මණ්ඩලයත් එක්ක ගොඩක් සතුටෙන් වැඩ කරන්න ඉඩ ලැබුණා”

“විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල වගේ මහත්වරුන්ගේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට විශාල සහයෝගයක් ලැබුණා”

“නේපාලයේ දී පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලට දැන් අපි සූදානම් වෙනවා. වසර 2021 දී මෙරට දී සාග් ක්‍රීඩා උළෙල පවත්වන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ කටයුතු මා අමාත්‍යාංශයේ ඉවත්ව ගියත් ඉදිරියේදී සිදුවේවි. රාජ්‍ය සේවයේ නිලධාරීන් හැම විටම කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ යුතුයි. දේශපාලනඥයෙක් වුණාට මම කවදාවත් මම රාජ්‍ය සේවයේ නිලධාරීන්ට කිසිඳු කරුණක් නිසා බලපෑම් කරලා නැහැ. ඉදිරියටත් එහෙමයි.

අද රටේ ඇමැතිවරුන් හඳුන්වන්නේ ගරු කියලා ආමන්ත්‍රණය කරලයි. මේකට ඇමැතිවරයෙක් වුණත් මම නම් විරුද්ධයි. මොකද ගරු කියලා කතා කරන්න පුළුවන් වැටුප් හෝ දීමනා ලබා නොගන්නා සේවයක් කරන්නන්ට පමණයි. ඇමැතිවරුන් වන අපි වැඩ කරන්නෙ වැටුප්වලටයි. එහෙම නම් ඇමැතිවරුන්ට ගරු කියලා ආමන්ත්‍රණය කරන එක වැරදියි.

“මම ඌව මහ ඇමැති වෙලා ඉන්න කොට ඕ.අයි.සී. මහත්තයෙක් මට බුලත් හුරුල්ලක් දීලා දණ ගහලා එක් අවස්ථාවක දී වැන්දා. මම ඔහුගෙන් ඇහුවෙ ඇයි මේ යුනිෆෝම් එකට අවනම්බු කරන්නෙ. මට ඇයි වැන්දෙ කියලා”

මම මේක මතක් කළේ රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන්ටත් කොන්ද නමන්න කිසිම අවශ්‍යතාවක් නැති හින්දයි. ඒ වෙනුවට රාජ්‍ය සේවයේ යෙදෙන ඔබලා කොන්ද කෙලින් තියාගෙන නිවැරදි තීන්දු අරන් ජනතාවට සේවය කරන්න.

ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා හරීන් ප්‍රනාන්දු මහතාට සිහිවටන තිළිණයක් ද ප්‍රදානය කළේය.

 


අදහස් (0)

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතය අඳුරුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.