Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග ඇරඹෙයි

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග ඇරඹෙයි

ශානුක අරවින්ද - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 93 වැනි ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය ඊයේ (7 වැනිදා) ආරම්භ විය. තරගාවලිය ලබන 11 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, සීවලී, යුනිචෙලා, විද්‍යාර්ථ, පේරාදෙණිය සහ විද්‍යාරතන වැනි දිවයිනේ ප්‍රධාන පෙලේ බොක්සිං සමාජ රාශියක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙවර තරගාවලිය සඳහා සහභාගි වී සිටිති.
 
මෙම තරගාවලිය මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ වයස අවුරුදු 19 ත් 40 ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සීමා වෙයි.
 
පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ.
මෙම තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වේ. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් හිමිවේ.

ඉකුත් වසරේ (2018) පැවැති තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මේ වන විට පිට පිටම දින සිටින ක්ලිෆඞ් කුසලාන සංඛ්‍යාව 7 කි. එවර තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ යුනිචෙලා ක්‍රීඩා සමාජය විසිනි.

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්.එම් හෙට්ටිආරච්චි දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී සම්මාන දිනාගත්හ.

 


අදහස් (0)

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.