Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනක හේරත් සභාපති පුටුවට නිතරගයෙන් එන ලකුණු

කනක හේරත් සභාපති පුටුවට නිතරගයෙන් එන ලකුණු

ශානුක අරවින්ද - 2020 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලධාරි මණ්ඩලයේ පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීම සහ නිලවරණය මේ මස 14 වැනිදා ටොරින්ටන් පෙදෙස පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කට් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සභාපති තනතුර දැනට හිස්ව පවතින නමුත් මේ වන විටත් උප සභාපතිවරු හය දෙනෙක්ද පත්ව සිටිති. එහෙත් සංගමයේ නිලධාරී මණ්ඩලය සම්පූර්ණ වීම සඳහා උපසභාපතිවරුන් 8 ක්, සහකාර ලේකම්වරයකු සහ භාණ්ඩාගාරිකවරයකු තෝරා පත්කර ගත යුතුය. මේ වන විට සංගමයේ ලේකම්වරයා ලෙස ශ්‍රීනාත් විජේතුංග මහතා තේරී පත්ව සිටින අතර උප භාණ්ඩාගාරිකවරයා ලෙස රනිල් දිල්රන් මහතා කටයුතු කරයි.

ලලිත් ලියනගේ, ප්‍රභාත් නිමේෂ්, අශේන් සසංක, නාමල් ගූණසේකර, සදිසි නිරාෂා, මධුෂානි පෙරේරා යන මහත්ම මහත්මීහු මේ වන විට සංගමයේ උප සභාපතිවරු ලෙස කටයුතු කරති. පුරප්පාඩු සහිත තනතුරු සඳහා ඉදිරිපත් වී ඇති නාමයෝජනා අතර ඡන්දයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ සභාපති තනතුර සඳහා පමණි. සෙසු තනතුරු 4 සඳහා එක් නාමයෝජනාව බැගින් ඉදිරිපත්වී තිබීම නිසා ඒ සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිතය.

වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ හිටපු ජාතික මේසපන්දු ක්‍රීඩක මන්සිල් මුතාලිබ් මහතා සංගමයේ සභාපති තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර සිටිති. යම් හෙයකින් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් නිලවරණය පැවැත්වෙන දිනයේදී සිය නාම යෝජනාව ඉල්ලා අස්කර නොගත හොත් සභාපති තනතුර සඳහා එහිදී ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇත.

කෙසේ වුවත් මන්සිල් මුතාලිබ් මහතා උප සභාපති තනතුරක් සඳහාද නාමයෝජනා ඉදිරිපත් කර ඇති බැවින් අවසන් මොහොතේ හෝ ඔහු සභාපති තනතුර සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනාව ඉල්ලා අස්කරගනු ඇතැයි සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවහොත් වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා නිතරගයෙන්ම සභාපති තනතුරට පත්වනු ඇත.

කනක හේරත් මහතා 2017 වසරේදීද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම වසරේදී දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සත්කාරකත්වය ලබාදීමටද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට හැකි විය. එසේ වුවත් කනක හේරත් මහතාට මේසපන්දු සංගමයේ සභාපති තනතුර දැරීම සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් 2017 වසරේ අග භාගයේදී හිටපු සභාපතිවරයෙක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත විරෝධතා ලිපියක් යොමු කළේය.

එම විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කළ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා, පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු කනක හේරත් මහතාට සභාපති තනතුරෙහි කටයුතු කිරීම අත්හිටුවීමටද පියවර ගත්තේය. අනතුරුව විශේෂ මහ සභා රැස්වීමක් පවත්වා ඒ වන විට උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ චතුර ජයේන්ද්‍ර මහතා වැඩ බලන සභාපතිවරයා ලෙස තෝරාපත් කරගත් සංගමයේ විධායක කමිටුව, 2018 වසර අග භාගය දක්වා ඔහුගේ සභාපතීත්වය යටතේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගියේය.

නැවතත් 2019 වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම සඳහා නිලවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණද, එම අවස්ථාවේදී සභාපති තනතුර සඳහා තරග වැඳුණ ලලිත් ලියනගේ මහතාගේ සහ මන්සිල් මුතාලිබ් මහතාගේ නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ විරෝධතා හේතුවෙන් එම නිලවරණය කිහිපවරක්ම කල් දැමීමට සිදුවිය. අවසානයේදී නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත්කර ගන්නා තෙක් 2018 වසරට අදාල ජාතික මේසපන්දු තරගාවලිය සහ ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය පැවැත්වීම සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.


තනතුරු අපේක්‍ෂකයෝ

සභාපති
කනක හේරත් මහතා හෝ මන්සිල් මුතාලිබ් මහතා

උප සභාපතිවරු
විජය ගුණරත්න මහතා සහ මන්සිල් මුතාලිබ් මහතා

සහකාර ලේකම්
එම්.ඒ. මල්ලවාරච්චි මහතා

භාණ්ඩාගාරික
ටිනූෂ දිල්හාර මහතා

 


දැනට පත්ව සිටින නිලධාරීන්

ලේකම්
ශ්‍රීනාත් විජේතුංග මහතා

උප භාණ්ඩාගාරික
රනිල් දිල්රන් මහතා

උප සභාපතිවරු
ලලිත් ලියනගේ මහතා, ප්‍රභාත් නිමේෂ් මහතා, අශේන් සසංක මහතා, නාමල් ගූණසේකර මිය, සදිසි නිරාෂා මෙනවිය සහ මධුෂානි පෙරේරා මිය

 


අදහස් (0)

කනක හේරත් සභාපති පුටුවට නිතරගයෙන් එන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.