Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කතරගම තරගමාලාව කල් දමන්න සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස්

කතරගම තරගමාලාව කල් දමන්න සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස්

නාමල් පතිරගේ - 2020 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කතරගමදී ලබන සෙනසුරාදා හා ඉරිදා (10-11) පැවැත්වීමට සූදානම් කර තිබෙන 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි, මැරතන්, ඇවිදීමේ තරගමාලාව යොදාගත් පරිදි එම දිනවලදී පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීහු ඊයේ (5) වනවිට දැඩි අවිනිශ්චිත තත්ත්වයට පත්ව සිටියහ.

ඔවුන්ගේ මෙම දෙගිඩියාවට හේතු වී ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වයක් රට තුළ නැවත පැනනැගීම සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී තිබෙන පසුබිමක් තුළය. 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම, මැරතන්, පාපැදි තරගමාලාව ලබන සෙනසුරාදා හා ඉරිදා කතරගමදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග පසුගිය සැප්තැම්බර් මූලාරම්භයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

විවෘත ඉසව් ලෙස පැවැත්වෙන ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් අයැදුම්පත් බාර ගැනීම පසුගිය බදාදා (30) අවසන් විය.
ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඊයේ පස්වරුවේදී පැවැසුවේ තරග මාලාවන් යොදාගත් දිනවලදී පැවැත්වීමේ ගැටලුකාරී තත්ත්වයක් ඊයේ වනවිට මතුවෙමින් තිබුණු බවත් කෙසේ වුවත් ඒ සඳහා සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් සිය අමාත්‍යාංශය අපේක්ෂාවෙන් සිටි බවත්ය.

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය විද්‍යාතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ රට තුළ මේ වනවිට උද්ගතවෙමින් තිබෙන තත්ත්වය හමුවේ මෙම තරග මාලාව පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි.
“මෙම තරගමාලාවට රට පුරාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීම මෙහි ඇති ලොකුම අනතුරයි. ඒ වගේම පාපැදි තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වෙනවා.

දැනට කොරෝනා අනතුර පවතින ප්‍රදේශයක් වගේම තරගාවලිය පැවැත්වුණොත් එම ප්‍රදේශයේ නිරෝධායනය වෙලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සහභාගී වෙන්න ඉඩ නොලැබීම තුළ ඔවුන්ට අසාධාරණයකුත් වෙනවා. ඒ නිසා අපට අකැමැත්තෙන් හරි තරගාවලිය කල් දමනවා හැරෙන්න වෙනත් විකල්පයක් මේ වෙලාවේ නෑ.” යැයි වෛද්‍ය ලාල් ඒකනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තරගාමාලාව කල් දැමීමේ නිල නිවේදනය අද (6) නිකුත් කිරීමට සූදානම්ව තිබූ බවයි.

46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේදීය.

 


අදහස් (0)

කතරගම තරගමාලාව කල් දමන්න සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.