Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔසාකා - සෙරීනා - සිමෝනා තියුණු සටනක

ඔසාකා - සෙරීනා - සිමෝනා තියුණු සටනක

editorial - 2021 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාග්‍රට් කෝට්ගේ ලෝක වාර්තාව හඹා යමින් සිටින සෙරීනා විලියම්ස් මෙන්ම නයෝමි ඔසාකා තියුණු තරගයකින් පසුව ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මේ දෙදෙනා අතරට රුමේනියාවේ සිමෝනා හීල්ප්ද පිවිස සිටින්නීය. 

කෙසේ වෙතත් අද (14 වැනිදා) පැවැති තරග වලදී එක්සත් ජනපද විවෘත ශූරයා වන ඩොමිනික් තීම් අනපේක්‍ෂිත පරාජයක් ලැබූයේ අර්ධ අවසන් පූර්ව වටය අහිමි කරගත් පළමු ප්‍රධාන පෙළේ ක්‍රීඩකයා වෙමිනි. 

ජපාන ක්‍රීඩිකාව වන නයෝමි ඔසාකා සහ ගාර්බින් මුගුරුසා අතර පැවැතියේ තියුණු තරගයකි. එහෙත් 6-4, 6-4 සහ 7-5 ක් ලෙසින් තරගය ජයගැනීමට ඔසාකා සමත් වූවාය. 

“ඇය ඉතා හොඳින් ක්‍රීඩා කරමින් මා බිය ගැන්වූ බවක් මට දැනුණා” යයි ඔසාකා පැවසුවේ පසුගිය වසරේ අවසන් මහ තරගයේදී ඇය විසින් පරාජය කරන ලද ක්‍රීඩිකාවගේ දස්කම් අගයමිනි. 

මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 වාර්තාව හඹා යමින් සිටින සෙරීනා විලියම්ස් සහ ආර්යානා සබලෙන්කාට අතර පැවැති තරගය ටෙනිස් ක්‍රීඩාවේ හැකියාවට වඩා ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්‍ෂණයක් විය. මේ වන විට 39 හැවිරිදි එක්දරු මවක වන නමුත් තරගය අවසානයේදී සෙරීනා ජයගත්තේ ලකුණු 6-4, 2-6 සහ 6-4 ක් ලෙසිනි. 

පසුගිය වසරේ ප්‍රංශ විවෘත තරගාවලියේදී පෝලන්තයේ ඉගා ස්වෙටෙක් හමුවේ පරාජය වූ නමුත් සිමෝනා හීල්ප් අද පැවැති තරගයේදී ඉගා ස්වෙටෙක් පහසුවෙන් පරාජය කරමින් ජයගත්තාය. ලකුණු තත්ත්වය 3-6, 6-1 සහ 6-4 ක් විය. 

මෙවර ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ එක් පසෙකින් විලියම්ස්, සිමෝනා සහ නයෝමි ඔසාකා අතර තියුණු සටනක් නිර්මාණය වෙමින් තිබේ. 

බල්ගේරියාවේ ග්‍රිගර් ඩිමිට්‍රොව් හමුවේ පැය දෙකකට වඩා සටන් කළ එක්සත් ජනපද විවෘත ශූරයා වන ඩොමිනික් තීම් අවසානයේදී පරාජය පිළිගත්තේය. තීම් බොහෝ වෙහෙසට පත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. 

තරග පැවැති රොඩ් ලීවර් ක්‍රීඩාංගණය ප්‍රේක්‍ෂකයන්ගෙන් හිස්ව පැවතිණ. කොරෝනා වයිරසය හේතුවෙන් මෙල්බර්න් නුවරට අගුලු දමා ඇති අතර අද එහි දෙවැනි දිනයයි.

 


අදහස් (0)

ඔසාකා - සෙරීනා - සිමෝනා තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.