Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් සුදුසුකම් ලයිස්තුවට එක නමයි

ඔලිම්පික් සුදුසුකම් ලයිස්තුවට එක නමයි

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(නාමල් පතිරගේ)

‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඉතිරිව  ඇත්තේ දින 75 කටත් අඩු කාලයක් වුවත් ඒ සඳහා සුදුසුකම් ලත් නාමලේඛනයෙන් ශ්‍රී ලංකාවෙන් තරග වැදීමට නිර්දේශ වී සිටින්නේ එකම ක්‍රීඩිකාවක් පමණි. ඇයද ද්විත්ව පුරවැසිකම හිමි තුරග (පැනීම්) ක්‍රීිඩිකා මැටිල්ඩා කාල්සන්ය.

ශ්‍රී ලංකාවේ ඉපදී, කැනඩාවේ හැදී වැඩුණු මැටිල්ඩා කාල්සන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තුරඟ තරග (පැනීම්  - කාන්තා) ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට සූදානමින් සිටින්නීය. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිර්දේශ නාමාවලියෙන් ඇය එක් අවස්ථාවකදී ඉවත් කළත් ජිනීවාහි ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය වෙත ඇය ඉදිරිපත් කළ අභියාචනයක් ජය ගැනීම නිසා මැටිල්ඩා කාල්සන් යළිත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තරග වැදීමට සුදුසුකම් ලබාගත්තාය.

ඔලිම්පික් උළෙල ලබන ජූලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී  පැවැත්වෙන බව මේ වනවිට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හා එහි සත්කාරය දරන ජපානය සහතික වී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ‘ලංකාදීපය’ කළ විමසුමකදී පැවසුවේ මැයි මාසය අවසන්වීමට පෙර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය සකස් කර අවසන් කළ යුතු බවයි. කෙසේ වුවත් ‘ලෝක මලල ක්‍රීඩා’ ආයතනය මලල ක්‍රීඩා ඉසව්වෙන් ඒ සඳහා ලෝකය පුරා සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශවීම සඳහා ලබන ජූනි 29 වැනිදා දක්වා කාලය ලබාදී තිබේ.

මේ අතර සුදුසුකම් නොලත් නාමලේඛනය හෙවත් තවත් පංගු ක්‍රමය (වයිල්කාඩ්) යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනෙකුට ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරිමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තාවේ. ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මලල ක්‍රීඩිකා නිලානි රත්නායක, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානිද සිල්වා, පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සුසුදුකම් නොලත් නාමලේඛනයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සහභාගිත්වයට අවසර ලබාගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ වෙති.

සුදුසුකම් නොලත් නාම ලේඛනයෙන් ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක්  ඉදිරිපත්  කිරීමේ අවස්ථාව දී තිබේ. එහිදී ක්‍රීඩකයාට හිමි අවස්ථාව මේ වනවිටත් තහවුරු කර ගෙන සිටින්නේ සාග් රන් පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහයි.
කෙසේ වුවත් ඉදිරියේදී අවශ්‍ය සුදුසුකම් තහවුරු කරගනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගේ නාම ලේඛනයක් ටෝකියෝ ඔලිම්පික් තරග සංවිධායකයන් වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු කර තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකාවට අවස්තාවක් සැලසී ඇත්තේ මලල  ක්‍රීඩාව නොදියුණු  රටවල් ඉලක්ක කරමින් ‘ලෝක මලල ක්‍රීඩා (ආයතනය) හඳුන්වා දුන් විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේය. එම විශේෂ ලකුණු ක්‍රමය යටතේ පිළිගත් දේශීය ජාතික මට්ටමේ තරගමාලා ජයග්‍රහණ වලින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලේ දෙවැනි පෙළ නිර්දේශය සඳහා ලකුණු එකතු වේ.

කිසිදු අවස්ථාවකින් ඔලිම්පික් උළෙලක් සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට අවස්ථාව නොලැබෙන රටවලට පමණක් පංගු ක්‍රමය යටතේ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් සහභාගි කරවීමේ අවස්තාව සැලසී තිබේ. කෙසේ වුවත් මීටර 800 ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ හා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක සුමේධ රණසිංහ ද හඳුන්වාදුන් විශේෂ ලකුණු ක්‍රමය යටතේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සහභාගිත්වය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආසන්න වී සිටිති.

දැඩි නිරෝධායන නීති රීති යටතේ ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සිදුව තිබෙන තත්ත්වයක් තුළ, නූතන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට නරඹන්නන්ගෙන් තොරව එහි ක්‍රීඩා ඉසව් පැවැත්වීමට තීරණය කර තිබේ.

වසර 2020දී පැවැත්වීමට නියමිතව තිබූ ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරට කල්  දැමූවත් එය ‘2020 ටෝකියෝ ඔලිම්පික්’ යන හැඳින්වීම මතම පැවැත්වේ. 1902 දී ආරම්භ වූ නූතන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්ව  සිටින්නේ පදක්කම් දෙකක් පමණි. ඒ මලල ක්‍රීඩාවෙන් හිමිකරගත් රිදී පදක්කම් දෙකකි.  

 


අදහස් (0)

ඔලිම්පික් සුදුසුකම් ලයිස්තුවට එක නමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.