Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් පැවැත්වීමේ සැක සංකා

ඔලිම්පික් පැවැත්වීමේ සැක සංකා

editorial - 2020 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය සහ රොයිටර් ඇසුරිනි)

ජූලි මස 24 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත පරිදි පැවැත්වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට බලවත් සැක සංකා මතුවෙමින් තිබේ. තරගාවලිය නියමිත පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා උළෙලේ සත්කාරකයන් වන ජපානය දැඩි මතයක සිටියද කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය හේතුවෙන් ජීවිත අවදානමේ දමමින් තරගාවලිය නොපවත්වන ලෙසට එල්ල වන විරෝධතා එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් සහ ජපානයේ අගමැති ෂින්සෝ අබේ දෙදෙනාම නැවත නැවතත් කියා සිටින්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමේ ගිනිසිළුව නියමිත පරිදි ජූලි 24 වැනිදා දැල්විය යුතු බවයි. එහෙත් මේ වන විට ලෝකය පුරාම ක්‍රීඩා තරගාවලි ගණනාවක් කල්දැමීමටත් අවලංගු කිරීමටත් පියවර ගෙන තිබෙන වාතාවරණයක ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම තවත් ව්‍යසනයක ආරම්භයක් විය හැකිබව ඒ ඒ ක්ෂේත්‍රයන්හි වගකිව යුත්තෝ පෙන්වා දෙති.

ඩොලර් මිලියන ගණනක ආදායම් ගෙනෙන ඇමරිකානු ජාතික පැසිපන්දු ශූරතාවලිය, බි්‍රතාන්‍යයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය, ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලිය, ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාුවලිය, පැරීසියේ සහ බාර්සිලෝනා මැරතන් තරග, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරග මෙන්ම ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තේරීම් තරගද කල්දමා තිබේ. ජපානයේ ක්‍රීඩා සියල්ලද මේ වන විට ඇණහිට තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත් කියන්නේ ඔලිම්පික්  ක්‍රීඩා උළෙල කල්දැමිය යුතු බවයි.

කොරෝනා වයිරසය පැතිරීමේදී ජපානය ඇත්තේ අනෙක් රටවලට වඩා පසුපසිනි. ජපානයේ වේලාවෙන් අද (16 වැනිදා) රාත්‍රී 10.30 වන විට කොරෝනා වයිරසය ආසාදනය වූවන් 845 ක් ජපානයේදී හමුවී ඇති අතර ඔවුන්ගෙන් 27 දෙනෙක් මියගොස් තිබේ. එම වේලාව වන විට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00) ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 175,000 කට ආසන්න වී තිබූ අතර මියගොස් තිබූ සංඛ්‍යාව 6684 ක් වී තිබිණ.

ජපන් ජාතිකයන් කියා සිටියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුව හොත් ලෝකයේ සෑම තැනින්ම ක්‍රීඩා ලෝලීන් ටෝකියෝ නුවරට පැමිණෙන බවත් එය ජපන් ජාතිකයන්ගේ සෞඛ්‍යට තර්ජනයක් වන බවත්ය.

“අවංකවම කියනවා නම්, ජපානය මේ ප්‍රශ්නයෙන් මිදුණා වුණත්, අපි සංචාරකයන් පිළිගන්න සූදානම් නෑ. මම හිතන්නේ මේ ඔලිම්පික් උළෙල මේ වෙලාවේ නොතියනවා නම් හොඳයි......අපේ මිනිස්සුන්ගේ ජීවිත මේ වෙනුවෙන් බිළි දෙන්න අපි සූදානම් නෑ” යයි 27 හැවිරිදි ජපන් ජාතිකයකු වන කොකී මියුරා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියන්නේ ක්‍රීඩා උළෙල අවලංගු කරදැමීමට නොහැකි නම් අඩුතරමේ එය කල්දැමීමට වත් බලධාරීන් පියවර ගත යුතු බවයි.

ජපානයේ මහජන මතයද ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට එරෙහිව යන බවක් පෙනේ. ජපානයේ ජාතික රූපවාහිනිය වන එන්.එච්.කේ ආයතනය විසින් සතියකට පමණ ඉහතදී කරන ලද සමීක්‍ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ 45% ක් පමණ දෙනා තරගාවලිය පැවැත්වීමට අකමැති බවයි. 40%ක් පමණ දෙනා තරගාවලිය පැවැත්වීමට කැමැත්ත පළකර තිබේ. එහෙත් අද (සඳුදා) නිකුත් කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවකින් කියැවුණේ නියමිත පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට ජපානය අපොහොසත් වනු ඇතැයි ජපන් ජාතිකයක් 69.9%ක් පමණ දෙනා විශ්වාස කරන බවයි.

ටෝකියෝ නගරාධිපති යුරිකෝ කොයිකේ මහත්මිය පවසන්නේ ටෝකියෝ ක්‍රීඩා උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් “හිතන්නටවත් බැරි” බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය පවතින්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සතුව බවද ඇය කීවාය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවද ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටී. ඊට අමතරව ඔලිම්පික් උළෙල කල්දැමීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සම්බන්ධයෙන්ද අන්තර්ජාතික ඔලිම්පික් උළෙල උනන්දුවෙන් සිටින බවද වාර්තාවේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිරයා වන තෝමස් බෙක් මහතා පවසන්නේ ද ඔලිම්පික් උළෙල වෙනුවෙන් පැවැති තේරීම් තරග කල්දැමීම “බරපතළ ප්‍රශ්නයක්” වන බවයි.

මේ අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ‘ටෝකියෝ 2020’ (ඔලිම්පික් උළෙල) සඳහා නම්කරන ලද ප්‍රධානියා වන ජෝන් කෝට්ස් මහතා යුරෝපයේ සිට මෙල්බර්න් නුවරට පැමිණි පසුව අනිවාර්යයෙන්ම දින 14 ක් හුදෙකළාව සිටිය යුතු බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර තිබේ. මෙය ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා විසින්, විදෙස් ගමන් වල යෙදෙන සියලුම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට බලපාන පරිදි පනවන ලද, තදබල නියෝගයකි.

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේ සම්බන්ධීකරණ නිලධාරියා වන ජෝන් කෝට්ස් මහතා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර සිට හෙට (බදාදා) මෙල්බර්න් නුවරට පැමිණීමට නියමිතය. ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වුවද ජෝන් කෝට්ස් මහතාට මෙම අනිවාර්ය නිරෝධායන කාලසීමාවට මුහුණ දීමට සිදුවන බවත් කිසිසේත්ම එය මඟහැරිය නොහැකි බවත් ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා පසුගිය සෙනසුරාදා කියා සිටියේ වයිරසය පැතිරීම පාලනය කරගැනීමට ජපානය සමත්වන බවත්, “කිසිම ප්‍රශ්නයක් නැතිව, සැලසුම් කළ පරිදිම” ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානයට හැකියාව ඇති බවයි.

..


අදහස් (0)

ඔලිම්පික් පැවැත්වීමේ සැක සංකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.