Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් කල්දමන්න බලපෑම්

ඔලිම්පික් කල්දමන්න බලපෑම්

editorial - 2020 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල කල්දැමීමට වහාම තීරණය කළ යුතු යයි කැනේඩියානු ඔලිම්පික් කමිටුව සහ කැනේඩියානු පැරලිම්පික් කමිටුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඔලිම්පික් උළෙල කල්දැමීමේදී ඇතිවිය හැකි කිසියම් සංකීර්ණතා ඇතිවේ නම් ඒ සඳහා සහාය වීමට තමන් ඉදිරිපත් වන බවද කැනේඩියානු ඔලිම්පික් කමිටුව සහ කැනේඩියානු පැරලිම්පික් කමිටුව නිකුත් කළ නිවේදනයෙන් කියැවේ.

“ඔලිම්පික් ක්‍රීඩා උළෙල වහාම කල්දමන්න‘යි කැනේඩියානු ඔලිම්පික් කමිටුව සහ කැනේඩියානු පැරලිම්පික් කමිටුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන්, අන්තර්ජාතික පැරලිම්පික් කමිටුවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටී“ යයි එම නිවේදනයෙන් කියැවේ.

“අපි සිටින්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුදයකට මැදිවෙලා. ඒක මේ ක්‍රීඩා කරනවාට වඩා බොහෝ වැදගත්“ යයිද එම නිවේදනයෙන් වැඩිදුරටත් කියැවිණ.

මේ අතර කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව මේ වනවිට පැහැදිලි යැයි ද ඒ අනුව 2021 වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් සුදානම් වන්නැයි ද ඔස්ට්‍රේලියානු ඔලිම්පික් බලධාරිහු ඊයේ (23) තමන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැවසීය.

ඔලිම්පික් උළෙල කෙසේ හෝ පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජපානයේ ඔලිම්පික් බලධාරිහු ද පසුගිය දින කිහිපයේදීම කියා සිටියද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ වනවිට ඔවුන්ගේ ස්ථාවරය ලිහිල් කිරීමට සිතා බලමින් සිටින බව වාර්තා වේ. ඔලිම්පික් උලෙළ කල් දැමීම ආදී විකල්ප සම්බන්ධයෙන් සොයා බලන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේය.

ඊට ප්‍රතිචාරයක් ලෙස ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව රැස්වීමක් කැඳවා තිබිණි. ගෝලීය වසංගතයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව එහිදි ඒකමතිකව තීරණය කර ඇත.

‘‘ජූලි මාසයේදී ඔලිම්පික් උලෙළ තියන්න බැහැ. ඒක පැහැදිලි’’ යැයි 2020 ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානී ඉයන් චෙස්ටර්මන් මහතා පැවැසීය.

ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් කැරොල් මහතා පැවැසීය.
‘‘කල්දැමීමෙන් අලුත් ප්‍රශ්න ඇතිවෙනවා. ටෝකියෝ ඔලිම්පික් උලෙළ ක්‍රීඩාවේ සහ මනුෂ්‍යත්වයේ සැබෑ සැමරීමක් වෙන්නේ ඊට මුළු ලෝකයටම එන්න පුළුවන්නම් විතරයි’’ යැයි ද හෙතෙම කීය.

රොයිටර් / ඒ.එෆ්.පී.

අදහස් (0)

ඔලිම්පික් කල්දමන්න බලපෑම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.