Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනීකාට දොරටුව වැසෙයි

අනීකාට දොරටුව වැසෙයි

ශානුක අරවින්ද - 2019 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තජිකිස්තානයේදී පැවැත්වෙන අන්තර්ජාතික ටෙනිස් සම්මේලන කුසලාන (ෆෙඞ් කප්) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මේ වන විට ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන අනීකා සෙනෙවිරත්නට ඉවත කර තිබේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව වන නමුත් සම්මේලන කුසලාන ටෙනිස් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා ඉකුත්දා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීම හේතුවෙන් අනීකාට මෙම තරගාවලිය අහිමි වී තිබේ. අනීකා සෙනෙවිරත්න ඉකුත් වසරේ (2018) ජාතික ශූරියද වන්නීය.

සම්මේලන කුසලාන ටෙනිස් තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි පිටි (දෘඩ තලයක පැවැත්වෙන ටෙනිස් තරග) තරගාවලියක් ලෙසිනි. එබැවින් තේරීම් තරග සඳහාද දැඩි පිටි යොදාගනු ලැබිණ.

කෙසේ වෙතත් සම්මේලන කුසලාන සඳහා වන තේරීම් තරගාවලිය පවත්වා ඇත්තේ මැටි පිටි (මැටි සහිත තලයක පැවැත්වෙන ටෙනිස් තරග) ජාතික ටෙනිස් තරගාවලිය පැවැත්වෙන අතරතුරදී වීම නිසා අනීකා තේරීම් තරග සඳහා සහභාගී වීමෙන් වැලකී සිට ඇතැයි වාර්තා වේ.

තේරීම් තරග සඳහා සහභාගි නොවූවද මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමටද අනීකා සමත් වූවාය. එහෙත් සම්මේලන කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් සවිනි ජයසූරිය, අංජලිකා කුරේරා, රුක්ෂිකා විජේසූරිය, ඔනෙලි පෙරේරා සහ ජනාලි මනම්පේරි යන සියලු දෙනාම මැටි පිටි ජාතික ශූරතාවලියට මෙන්ම තේරීම් තරගාවලියට ද ඉදිරිපත් වූහ.

ලොව ප්‍රධානතම ටෙනිස් තරගාවලියක් වන සම්මේලන කුසලාන (ෆෙඞ් කප්) තරගාවලියට ආසියානු ශාන්තිකර කළාපීය II කොටස යටතේ එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තජිකිස්තානය, සිංගප්පූරුව, පිලිපීනය, ඉරානය, චීන තායිපේ සහ බහරේනය යන රටවල් සමග තරග වැදීමට නියමිතය. තරගාවලිය මේ මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා තජිකිස්තානයේ දුෂාන්බි නුවරදී පැවැත්වේ.

එම රටවල් මූලික වටයේදී පිළිවෙලින් කණ්ඩායම් 3 ක් සහ 4 ක් බැගින් වූ ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර කාණ්ඩ දෙකේ ශූරයන් බවට පත්වන කණ්ඩායම් 2 අතර අවසන් මහ තරගයක් පැවැත්වේ. එම අවසන් මහ තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලබන වසරේදී (2020) ආසියානු ශාන්තිකර කළාපීය I කොටස යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

මෙවර ෆෙඞ් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවෝ පස්දෙනෙක් ඇතුළත්ව සිටිති. තේරීම් තරගාවලියේදී ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩිකාව වූ සවිනි ජයසූරිය එහි පළමු තේරීම බවට පත්ව සිටින්නීය. ගයන්ග වීරසේකර මහතා කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායකයා ලෙස කටයුතු කරයි.

තේරීම් තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව අංජලිකා කුරේරා සහ රුක්ෂිකා විජේසූරිය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ක්‍රීඩිකාවන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. සිවුවැනි සහ පස්වැනි ක්‍රීඩිකාවන් වන ඔනෙලි පෙරේරා සහ ජනාලි මනම්පේරි කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ යුගළ තරගවලට ක්‍රීඩා කිරීම සඳහා පමණි.

මෙම ක්‍රීඩිකාවන් අතරින් මින් පෙර ෆෙඞ් කුසලාන ටෙනිස් තරගාවලියකට සහභාගි වී ඇත්තේ සවිනි සහ ජනාලි පමණි. ඔවුන් දෙදෙනා ඉකුත් වසරේදී (2018) පැවැති ෆෙඞ් කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. අංජලිකා, රුක්ෂිකා මෙන්ම ඔනෙලිද ෆෙඩ් කුසලාන තරගාවලියකට සහභාගිව වන පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 
සවිනි ජයසූරිය, අංජලිකා කුරේරා, රුක්ෂිකා විජේසූරිය, ඔනෙලි පෙරේරා සහ ජනාලි මනම්පේරි


 

 


අදහස් (0)

අනීකාට දොරටුව වැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.