Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 2018 ජාතික එල්ලේ ශූරතාව උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජයට

2018 ජාතික එල්ලේ ශූරතාව උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජයට

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


--------------------
නාමල් පතිරගේ
--------------------

වසර තුනකට පසුව පැවැත්වූ ජාතික එල්ලේ තරග මාලාවේ ශූරතාව සමගින් රුපියල් 1,50,000 ක මුදලක් දිනා ගැනීමට උදම්මිට ගාමිණි ක්‍රීඩා සමාජය සමත්විය. වැලිසර නවලෝක පිටියේදී පැවැති ජාතික ශූරතා අවසන් මහ තරගයේදී  ජොසීටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය ලකුණු 12 කින් පරාජය කරමින් ගාමිණි ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ එම ශූරතාව දිනාගත්හ.

වසර 2018 ජාතික එල්ලේ තරගාවලියේ අවසන් මහ තරගය දිගින් දිගටම කල් යාමට ප්‍රධානතම හේතුව වූයේ ඒ සඳහා වියදම් සොයාගැනීමට එල්ලේ සම්මේලනය අපොහොසත් වීමයි.  කෙසේ වුවත් වැලිසර නවලෝක පිටියේදී නරඹන්නන් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලයේ වත්මන් සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා පියවර ගත්තේය.

ව්‍යාපාරිකයකු ලෙස එහි වියදම් හා ත්‍යාග මුදල් සඳහා ඔහුගේ පෞද්ගලික මුදල් යොදවා තිබිණ.  එල්ලේ සම්මේලනයේ ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා පැවසුවේ අවසන් මහ තරගයේ බරපැන සෙවීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථකවීමෙන් පසුව වත්මන් සභාපතිවරයා ඊට තමන්ගේ අතින් වියදම් දැරීමට තීරණය කළ බවයි.

‘‘ක්‍රීඩා අමාත්‍යාංශය අපේ දිහා බැලුවෙවත් නෑ. ඒ අය සුගතදාස පිටිය අපට වෙන් කරලා දෙන්න කැමැති වුණා. ඒකත් මුදලට’’ යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

වසර 2018 ජාතික එල්ලේ තරගාවලියට කණ්ඩායම් 176 ක් සහභාගි වී තිබේ. අවසන් පූර්ව තරගවටයේදී ජොසීටාවත්ත රෂ්මි පිල විසින් නාගොඩ ශ්‍රීමාලි පිලද උදම්මිට ගාමිණි පිල විසින් තොටළඟ අරුණ පිලද පරාජය කරන ලදී.

දිවයිනේ නමගිය එල්ලේ ක්‍රීඩා සමාජ දෙකක් ලෙස 2018 ශූරතාව හා අනුශූරතාව ලද මෙම ක්‍රීඩා සමාජ දෙකම මීට පෙර ජාතික ශූරතාව තෙවරක් බැගින් දිනා ගැනීමට සමත්ව තිබේ.  අසල්වැසි ගම් දෙකක ක්‍රීඩා සමාජ දෙකක් ලෙස මෙම දෙපිල අවසන් මහ තරගයේදී මුණගැසීමද කැපී පෙනේ. වසර 2018 තරගාවලිය ආරම්භ කළේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකුවන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ පාලන කාලයේදීය.

මෙහිදී අනුශූරතාලාභී ජොසීටාවත්ත රශ්මි පිලට හා තෙවැනි ස්ථානය ලද තොටළඟ අරුණ පිලට රුපියල් ලක්‍ෂයක් හා රුපියල් 50,000 ක්ද තරගාවලියේ වීරයාට හිමි සම්මානය වෙනුවෙන් ජයග්‍රාහී උදම්මිට ගාමිණි පිලේ රොෂාන් කුමාර වික්‍රමසිංහට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක්ද ප්‍රදානය කෙරුණි.

කාසියේ වාසිය දිනාගත් රශ්මි පිලේ ආරාධනාවෙන් පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් උදම්මිට ගාමිණි පිල රැස් කළ ලකුණු 9ට ‘රශ්මි’ පිලේ පිළිතුර ලකුණු 8 ට සීමාවිය.  තීරණාත්මක දෙවැනි ඉනිමේදී වඩාත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ‘ගාමිණි’ ක්‍රීඩකයෝ ලකුණු 17 ක් රැස් කළහ. කෙසේ වුවත් දෙවැනි ඉනිමේදී ලකුණු 19 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය රශ්මි කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 7 ක් පමණි.

මෙම තරගාවලිය නිමාවත් සමග 2020 – 21 ජාතික තරගාවලිය සඳහා කණ්ඩායම් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බව එල්ලේ සම්මේලනයේ ලේකම්වරයා පවසයි.


2018 තරගාවලියේ විශේෂ සම්මාන

තරගාවලියේ වීරයා:- රොෂාන් කුමාර වික්‍රමසිංහ (උදම්මිට ගාමිණි)
වැඩිම ලකුණු ලාභියා:- ශාන්ත ප්‍රියලාල් (උදම්මිට ගාමිණි)
අවසන් මහ තරගයේ වීරයා:- රාජිත ප්‍රසන්න (උදම්මිට ගාමිණි)
දක්‍ෂතම පන්දු රකින්නා:- සංජීව කස්තුරිආරච්චි (මහබාගේ ශාන්ත ජූඩ්)
අවසන් තරගයේ හොඳම පිතිකරු - රජිත ලක්ෂාන් (උදම්මිට ගාමිණි)
අවසන් තරගයේ දක්‍ෂතම පන්දු රකින්නා:- සුභාෂ් රුක්ෂාන් (උදම්මිට ගාමිණි)

 


තරගාවලියේ වීරයා වූ උදම්මිට ගාමිණී පිලේ රොෂාන් ප්‍රදීප් කුමාර ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා අතින් කුසලානය ලබාගත් මොහොත


අදහස් (0)

2018 ජාතික එල්ලේ ශූරතාව උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.