Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුජීව විජේනායක ටෝකියෝ ඔලිම්පික් කමිටුවට

සුජීව විජේනායක ටෝකියෝ ඔලිම්පික් කමිටුවට

නාමල් පතිරගේ - 2020 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් කමිටුවට ජපානයේ  වෙසෙන ශ්‍රී ලාංකික බේස්බෝල් විනිසුරුවරයෙකුවන සුජීව විජේනායක මහතා ඇතුළත් කරගෙන තිබේ.  ජපානයේ වෙසෙන 50,000 කට වැඩි බේස්බෝල විනිසුරුවන් අතර එකම විදේශීය අන්තර් ජාතික බේස්බෝල් විනිසුරුවරයාවන විජේනායක මහතා ජපන් රජයේ ක්‍රීඩා අමාත්‍යාංශය හා එරට ජාතික ඔලිම්පික් කමිටුව විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බේස්බෝල් හා සොෆ්ට් බෝල් සංවිධායක කමිටුවේ තාක්‍ෂණ මෙහෙයුම් නියෝජ්‍ය කළමනාකරු ධුරය පිරිනමා තිබේ.  ඔලිම්පික් උළෙල අවසානයේදී ටෝකියෝ නුවරදීම පැවැත්වීමට නියමිත පැරලිම්පික් උළෙල සඳහා ද ඔහුගේ මෙම පත්වීම වලංගු වේ. සුජීව විජේනායක මහතා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් කමිටුවේ තනතුරට පත් එකම ශ්‍රී ලාංකිකයාද වෙයි. 2021 පැරලිම්පික් උළෙල ද පවත්වා අවසන්වන තෙක් ඔහුගේ තනතුර වසර එකහමාරක්වත් ආසන්න කාලයක් බල පැවැත්වේ.

වසරකින් කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල දැන් පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2021 ජූලි 23 සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වාය.

ජපානයේ බේස්බෝල් ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින විජේනායක මහතා වසර 2006 දී උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා ජපානය බලා පිටත්ව ගියේය.

එහිදී ඔහු බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙසත් දිගටම කටයුතු කළ අතර වසර 2010 සිට ලෝක බේස්බෝල් සම්මේලනය හා ආසියානු බේස්බෝල් සම්මේලනය මෙහෙයවූ ලෝක ශූරතා තරග මාලා ඇතුළු ආසියානු ශූරතා තරග මාලා රැසකදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

වසර 2019 දී ශ්‍රී ලංකාවේ දියගමදී පැවැති බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවලියේ තාක්‍ෂණික කමිටුවේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව කුසලාන දිනාගත්තේය.  ලෝක හා ආසියානු බේස්බෝල් සම්මේලනයේ ජාත්‍යන්තර තාක්‍ෂණ නිලධාරියෙකු ලෙසත් මේවනවිට කටයුතු කරන ඔහුගේ සේවය අගය කරමින් ජපාන රජය මෑතකදී ඔහු එරට සංචාරක ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙසත් බඳවා ගත්තේය.

උසස් අධ්‍යාපනය සඳහා ජපානයට පැමිණීමෙන් පසුව ජපානයේදී ආසියානු - ශාන්තිකර සංචාරක හා සත්කාරක විශේෂ උපාධියක් ලබා සිටින විජේනායක මහතා වෘත්තියෙන් සංචාරක හෝටල් ජාලයක කළමනාකරුවෙකි.

පසුගිය වසරේ දියගමදී පැවති බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ සේවය සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙරට ක්‍රීඩා සමාජ හා පාසල්වලට බෙදාදීම සඳහා රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් බේස්බෝල් ක්‍රීඩා උපකරණ තොගයක් ජපානයෙන් රැගෙන ආවේය. එය රේගු ගාස්තුවලින් තොරව නිදහස් කර ගැනීමට දැරූ උත්සහය අසාර්ථකවීමෙන් පසු ඔහු විසින්ම එම රේගු ගාස්තු ගෙවා එය නිදහස් කර ගැනීමට කටයුතු කළේය.

කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවන විජේනායක මහතා විද්‍යාලයීය බේස්බෝල් කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර පසුව එහි බේස්බෝල් පුහුණුකරු ලෙසත් කටයුතු කළේය. විජේනායක මහතා ශ්‍රී ලංකා ජාතික බේස්බෝල කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි කීපයකටද සහභාගී වී තිබේ.

වසර 2018 ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේදී ජාතියේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ඉටු කළ සේවය උදෙසා වන වෘත්තිකයන්ට පිරිනැමෙන ‘‘ක්‍රීඩා භූෂණ’’ සම්මානයද විජේනායක මහතාට හිමි විය.

බේස්බෝල් ක්‍රීඩාව උදෙසා තමාට ඇතිවූ ඇල්ම පිළිබඳව ඔහු ‘‘ලංකාදීප’’යට පැවසුවේ ශ්‍රී ලංකාවේ අවධානයට ලක් නොවුණු ක්‍රීඩාවක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟාකර ගත හැකි යයි තමාට තදබල විශ්වාසයක් පැවති බවයි.


අදහස් (0)

සුජීව විජේනායක ටෝකියෝ ඔලිම්පික් කමිටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.