Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට ක්‍රීඩා 25 කින් පදක්කම්

ශ්‍රී ලංකාවට ක්‍රීඩා 25 කින් පදක්කම්

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට)

කත්මණ්ඩු නුවරදී නිමාවට පත්වූ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පාපන්දු හා කෝ-කෝ යන ක්‍රීඩා ඉසව් හැරෙන්නට සහභාගි වූ සෙසු ක්‍රීඩා ඉසව් 25 කදී පදක්කම් දිනාගැනීමට සමත් ව තිබේ. එහෙත් පාපන්දු සහ කෝ කෝ යන ක්‍රීඩා දෙකේදීම ශ්‍රී ලංකාව මූලික වටවලදීම පරාජය වූ හෙයින් ලෝකඩ පදක්කම ද අහිමි විය.

පාපන්දු සහ කෝ කෝ ක්‍රීඩා හැරුණු විට මෙවර ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගැනීමේ අවස්ථා අඩු යයි ප්‍රකාශ වූයේ හෑන්ඞ්බෝල් (අත්පන්දු) ක්‍රීඩාවෙනි. කෙසේවුවත් හැන්ඞ්බෝල් පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම හිමි කරගෙන තිබේ.

හෑන්ඞ්බෝල් (පිරිමි) තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් බංගලාදේශය ලකුණු 26 - 23 කින් පරාජය කළ ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම ලැබීය. එහෙත් හෑන්ඞ්බෝල් (කාන්තා) මූලික වටයේදී ශ්‍රී ලංකාව සියලු තරගවලින් පරාජයට පත් විය.

පාපන්දු (පිරිමි හා කාන්තා) කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 50 දෙනකුගේ කණ්ඩායමක් කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවලට ළඟාවිය. කෝ - කෝ කාන්තා හා පිරිමි කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනකුගෙන් සමන්විත විය.

මෙයින්ම වඩාත්ම අවධානය ද දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ පසුබැසීමයි.

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීත් පදක්කම් කිසිවක් දිනා නොගත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ මෙවර අපේක්‍ෂාව වූයේ එය ජයගැනීමයි. ඒ සඳහා පාපන්දු සම්මේලනය ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතාට ඉලක්කයක් දී තිබුණි. ඒ මෙවර කෙසේ හෝ ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායම පදක්කමක් දිනාගත යුතු බවයි.

එසේ නොවන්නේ නම් ඔහුගේ සේවය අවසන් කරන බවට පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් ඔහුට අනතුරු අඟවා තිබුණි. ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ සිට දෙවසරක සේවා කාලය අවසන් කරන රූමි පකීර් අලි මහතාගේ සේවය යළිත් දීර්ඝ නොකරනු ඇතැයි ද වාර්තා වේ.

එළඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාපන්දු තරග ඉසව්ව වන්නේ දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලියයි.
 
මෙවර සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු (පිරිමි) රිදී පදක්කම හිමිකගත් භූතානය හමුවේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ගෝල 3-0 ක දරුණු පරාජයක් ලැබීමත් සමගම ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය. මෙවර රන් පදක්කම දිනාගත් නේපාලය සමග තරගය ගෝල 1-1 කට ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ පසුව මාලදිවයින සමග තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් කළත් (0-0) අවාසනාවන්ත අයුරින් මෙවරත් මූලික වටයේදීම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ පාපන්දු (පිරිමි) කඩාවැටීම කෙතරම් දරුණු වීදයත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 205 දක්වා පහළට පැමිණ තිබෙන අතර ආසියානු ශ්‍රේණිගත කිරීමෙහි පසුවන්නේ අවසන් (45) ස්ථානයේය. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ මූල්‍යාධාරවලින් බහුතරයක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් සඳහා යොදවා තිබියදීත් මෙම කනගාටුදායක තත්ත්වය උදා වී ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

පුහුණුකරු අලි පකීර් මහතා තනතුර බාරගත් වසර 2018 පෙබරවාරි මාසයේදී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව ඔහුගේ සේවයෙන් පසුව ද ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පෙන්වා ඇත්තේ පසුබැස්මකි.

කෙසේවුවත් සාග් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන්නේ වයස 23 න් පහළ පාපන්දු කණ්ඩායම්ය.
කබඩි (පිරිමි) සාග් රිදී පදක්කම හා කාන්තා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය. පැසිපන්දු (මිනි) තරග මාලාවේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් (කාන්තා), ලෝකඩ පදක්කමක් (පිරිමි) හිමි විය.

දුන්නෙන් විදීමේ තරග වලදී රිදී හා ලෝකඩ පදක්කම්ද ටෙනිස් ක්‍රීඩාවේදී ලෝකඩ පදක්කම් ද පාපැදි ක්‍රීඩාවෙන් රිදී හා ලෝකඩ පදක්කම් ද මේසපන්දු, ස්කොෂ්, කඩුහරඹ යන ක්‍රීඩාවලදීත් ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම්වලින් සෑහීමට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාවට මෙවර අවාසනාවන්ත ලෙස ක්‍රිකට් (කාන්තා හා පිරිමි) රන් පදක්කම් දෙකම අහිමි විය.
බොක්සිං, මලල ක්‍රීඩා, වුෂු, ටයිකොන්ඩෝ, පිහිනුම්, වෙරළ වොලිබෝල්, තුන්ප්‍රයාම, බර ඉසිලීම්, මල්ලවපොර, ජූඩෝ, බැඞ්මින්ටන්, ගොල්ෆ් යන ක්‍රීඩා ඉසව්වලින් පමණක් ශ්‍රී ලංකාව මෙවර රන් පදක්කම් දිනා තිබේ.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා කත්මණ්ඩු නුවරදී පැවසුවේ ජාතික ක්‍රීඩා සංගම්හි ප්‍රගති සමාලෝචන වාර්තාවලට අනුව 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී අවම වශයෙන් රන් පදක්කම් 64ක් ශ්‍රී ලංකාවට දිනා දිය හැකි බව ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සිය වාර්තා මගින් පෙන්වාදී තිබූ බවයි.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

ශ්‍රී ලංකාවට ක්‍රීඩා 25 කින් පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.