Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විම්බල්ඩන් තරගාවලිය අවලංගු කරයි

විම්බල්ඩන් තරගාවලිය අවලංගු කරයි

editorial - 2020 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි ලෝක යුද්ධ සමයෙන් පසු පළමු වරට විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කර දැමිමට එහි සංවිධායකයන් පියවර ගෙන තිබේ. කොරොනා වයිරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතත් තරගාවලිය අවලංගු කිරීමට ගත් තීරණය හමුවේ අපේක්ෂා භංගත්වයට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර රොජර් ෆෙඩරර් සහ සෙරීනා විලියම්ස් දෙදෙනා ඉදිරියෙන්ම සිටිති.

මේ වසරේ ජූලි මස මැද භාගය දක්වා කිසිදු ටෙනිස් තරගාවලියක් නොපැවැත්වෙන බැවින් ලොව පැරණිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් තරගාවලිය අවලංගු කරමින් 2020 ටෙනිස් තරග වාරය වියවුල් සහගත ලෙස නිමා කිරීමට ලන්ඩන්හි ‘ඕල් ඉන්ග්ලන්ඩ්’ ක්‍රීඩා සමාජයට සිදුවිය.

මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග 8 වරක් විම්බල්ඩන් පිරිමි ශූරතාව දිනා සිටින රොජර් ෆෙඩරර් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ‘විනාශයට පත්විය’ යනුවෙනි.
එම තීරණය ඇසූ පමණින් තමා කම්පනයට පත්වූ බව 7 වරක් එහි කාන්තා ශූරතාව දිනා සිටි සෙරීනා විලියම්ස් කියා සිටියාය.

ජූනි මස 29 වැනිදා සිට සති දෙකක කාලයක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙවර විම්බල්ඩන් තරගාවලියේදී නොවැක් ජෙකොවික් සහ සිමෝනා හීල්ප් පිළිවෙලින් පිරිමි සහ කන්තා කේවල ශූරතා රැකගැනීමේ අභිලාෂයෙන් පසුවූහ. ඉකුත් වසරේ (2019) පැවැති තරගාවලියේදී රොජර් ෆෙඩරර් සහ සෙරීනා විලියම්ස් පරාජය කරමින් ඔවුහු එම ශූරතා දිනාගත්හ.

“මේ වසරේදී විම්බල්ඩන් තරගවලිය නොපැවැත්වීම ඉතාමත් කණගාටුවට කරුණක්.” යැයි හීල්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

“ඉකුත් වසරේ පැවැති අවසන් මහ තරගය මගේ ජීවිතයේ සතුටුදායකම දවස්වලින් එකක් වේවි. නමුත් දැන් අපි ටෙනිස් ක්‍රීඩාවට වඩා විශාල දෙයක් හරහා ගමන් කරනවා. විම්බල්ඩන් තරගාවලිය නැවතත් ඒවි. එයින් අදහස් කරන්නේ මගේ ශූරතාව ආරක්ෂා කරගැනීමට මට තව බොහෝ කාලයක් බලා සිටිමට සිදුවන බවයි” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

විම්බල්ඩන් තරගාවලි ප්‍රධානීන් කියා සිටියේ නොවැළැක්විය හැකි හේතුවක් මත වුවත් තමන් මෙම තීරණය ගනු ලැබුවේ දැඩි කණගාටුවකින් යුතුව බවයි.

කෙසේ වුවත් ඇමරිකානු ටෙනිස් ප්‍රධානින් මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මතභේදාත්මක ලෙස කල්දමා ඇති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ වීමට සතියකට පෙර ඔවුන් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පෙර යොදා තිබූ දිනවලදීම පවත්වා නිම කරන බවයි.

‘ඕල් ඉංග්ලන්ඩ්’ ක්‍රීඩා සමාජයේ සභාපති ඉයන් හෙවිට් මහතා පැවසුවේ විම්බල්ඩන් තරගාවලිය අවලංගු කිරීමේ තීරණය ඒ සම්බන්ධයෙන් සුළුකොට තැකීමක් නොවන බවයි.

“මින් පෙර විම්බල්ඩන් තරගාවලියට බාධා එල්ල වී තිබුණේ ලෝක යුද්ධවලින් පමණක් වීම මෙම තීරණය ගැනීමෙදි අපේ මනසට විශාල බරක් වුණා.” යැයි හෙවිට් මහතා පැවසීය.

“නමුත් සියලු තත්වයන් පිළිබඳව ගැඹුරින් හා පුළුල්ව සලකා බැලීමෙන් පසුව මෙය ගෝලීය අර්බුදයේ මිනුමක් බවත්, තරගාවලිය අවලංගු කිරීමට ගත් තීරණය නිවැරදි බවත් අපි විශ්වාස කරනවා.” යැයිද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙවරක් විම්බල්ඩන් තරගාවලියේ ශූරතාව දිනූ ක්‍රීඩකයකු වන ඇන්ඩි මරේ කියා සිටියේ තරගාවලිය අවලංගු කිරීම කණගාටුවට කරුණක් වුවත්, මේ වන විට උද්ගත වී ඇති තත්වය හමු‍වේ ලෝ වැසියන්ගේ‍සෞඛ්‍ය තත්වය වඩාත් වැදගත් වනු ඇති බවයි.

ලොව පුරා පුද්ගලයන් 43,000 ක් පමණ ජීවිතක්ෂයට පත්කළ සහ 860,000 ක් පමණ රෝගීන් බවට පත්කළ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට ලෝකය අරගල කරන මොහොතක විම්බල්ඩන් අවලංගු කිරීමේ තීරණය පුළුල් ලෙස අ‍පේක්ෂාවට ලක් විය.


-036


අදහස් (0)

විම්බල්ඩන් තරගාවලිය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.