Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යසිත - අනීකා ජාතික ටෙනිස් ශූරතා දිනති

යසිත - අනීකා ජාතික ටෙනිස් ශූරතා දිනති

ශානුක අරවින්ද - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 105 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේදී යසිත ද සිල්වා විසින් පිරිමි කේවල ශූරතාව දිනාගන්නා ලදි. එහි කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අනීකා සෙනෙවිරත්නත් සමත් වූවාය. තරගාවලියේ අවසන් මහ තරග දෙකම පසුගිය 17 වැනිදා පැවැත්විණ.

පිරිමි කේවල අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 7/6 ක් ලෙස ජයගත් ශාමල් දිසානායක, ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගයෙන් ඉවත් වූයේය. එබැවින් යසිත ද සිල්වාට ජයග්‍රහණය හිමිවිය. ඒ අනුව 2016 වසරේ සිට 2019 පිට පිටම සිවුවරක් ජාතික ශූරයා ලෙස සම්මාන ලැබ සිටි ශාමල්ට මෙවර ශූරතාව අහිමි විය.

මින් පෙර 2015 වසරේ පැවැති පිරිමි කේවල අවසන් මහ තරගයේදීද ආබාධයකට ලක්වීම හේතුවෙන් ශාමල්ට තරගයෙන් ඉවත් වීමට සිදුවූ අතර එවර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ දිනේෂ්කාන්තන් තංගරාජාය.

යසිත ජාතික ටෙනිස් ශූරයා බවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. මින් පෙර 2016 වසරේ පැවැති තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයේදී ශාමල් හමුවේ පරාජය වීම හේතුවෙන් යසිතට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/3) සංක අතුකොරල පරාජය කරමින් ශාමල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. යසිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/3) චාතූර්ය නිලවීර පරාජය කරමිනි.

කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/0, 6/4) ජනලි මනම්පේරි පරාජය කරමින් අනීකා සෙනෙවිරත්න මෙවර ජාතික ටෙනිස් ශූරිය බවට පත් වූවාය. අනීකා, ජාතික ටෙනිස් ශූරිය බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2018 වසරේදීද ඇය එම ශූරතාවට හිමිකම් කිවාය.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/4, 6/1) හසාලි ගජබා පරාජය කරමින් ජනලි මනම්පේරි මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 7/6) සවිනි ජයසූරිය පරාජය කරමිනි.

තරගාවලිය ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.  

 


අදහස් (0)

යසිත - අනීකා ජාතික ටෙනිස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.