Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිලවරණය කැඳවන්න මෙහෙයුම් කමිටුවක්

නිලවරණය කැඳවන්න මෙහෙයුම් කමිටුවක්

නාමල් පතිරගේ - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නිලවරණය විධිමත්ව කැඳවීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ලබන සිකුරාදා (23) කැඳවා තිබේ. එහි අරමුණ වන්නේ අවස්ථා කිහිපයකදීම විරෝධතා හමුවේ අත්හිටුවීමට සිදුවූ ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය කැඳවීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත්කර ගැනීමය.

එම නිලවරණය පසුගිය අප්‍රේල් 29, ජුනි 29 හා ජූලි 27 යන අවස්ථා තුනක දී පැවැත්වීමට නියමිතව තිබුණත් ඒ සඳහා තරග වදින පාර්ශ්වයන්හි විරෝධතා හේතුවෙන් අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවිය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වරෙක පැවැසුවේ නිලවරණය මෙහෙයැවීම ජාතික ඔලිම්පික් කමිටුවට පවරන බවයි.

සිය සාමාජික ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස එහි කටයුතු සොයා බැලීම ජාතික ඔලිම්පික් කමිටුවේ ද වගකීමක් වන බැවින් එසේ ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ විරෝධතාවයක් විමර්ශනය කිරීම සඳහා එහි ලේකම් චූලානන්ද පෙරේරා මහතා ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කරනු ලැබීය. එය ඔලිම්පික් කමිටුවට බාරදීමට එය ඉදිරිපත් කළ විරෝධතාකරුවන් ක්‍රියා කළ ද ඒ සම්බන්ධයෙන් එම කමිටුව ගත් ක්‍රියාමාර්ගයක් ගැන මෙතෙක් වාර්තාවී නැත.

ජිම්නාස්ටික් සංගමයේ නිලවරණයේ දී (2019-20) සභාපති ධුරය සඳහා එහි එතෙක් සභාපති ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සංජීව පෙරේරා මහතා ඇතුළුව කරුණාරත්න පෙරේරා, මිල්රෝයි ජයමාන්න ද අරුණ ප්‍රසාද් යන මහත්වරු ද නාමයෝජනා බාර දී තිබුණි.

නිලවරණය විටින් විට අතිහිටුවීමට සිදුව ඇත්තේ නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන විරෝධතාවට එහිදී ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය පැවැත්වීමට උත්සහ කරන බවට චෝදනා කරමින් නිලවරණ මෙහෙයුම් කමිටුවට එරෙහිව ක්‍රීඩා සමාජ කීපයක් ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට විරෝධතාවයක් බාර දී තිබුණි.

ක්‍රීඩා පනත උල්ලංඝණය වන ආකාරයෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට එහිදී එතෙක් පත්ව සිටි නිලවරණ කමිටුවට චෝදනා එල්ල විය.

සභාපති අපේක්ෂකයකු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශ්‍රාම යනතුරු නාමයෝජනා නොකැඳවීම, ඡන්ද හිමි නාමලේඛනය නිසි අධීක්ෂණයකින් තොරව යොමු කිරීම, නාමයෝජනා විරෝධතා විභාග කිරීම ගැන නිසි දැනුවත් කිරීමක් නොකිරිම, නාමයෝජනා නිසි පරිදි පරීක්ෂාවට ලක් නොකිරීම, ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළි පිළිගැනීම, නිසි සුදුසුකම් ඇති නාමයෝජනා පිළිගැනීමෙන් පසුව නැවත ඒවා පරීක්ෂා කිරීම, නාමයෝජනා ඉදිරිපත් කළ ඇතැම් අපේක්ෂකයන් සංගමය අනුමත නොකරන ලද තරග සහභාගිත්වය සිය සුදුසුකම් සඳහා ඉදිරිපත් කිරීම ආදී කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නිලවරණ මෙහෙයුම් කමිටුව වෙත ප්‍රධාන විරෝධතාවන් ගොනුකර තිබුණි.

ඒ අනුව ක්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් නැවත නිලවරණ කමිටුවක් අලුතින් පත්කර නිලවරණය කැඳවන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා දුන් උපදෙස් මත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණයෙන් නිලවරණය කැඳවීමට දැන් තීරණය වී තිබේ.

මෙසේ නිලවරණයට නාමයෝජනා බාරදීමෙන් පසුව එක් අපේක්ෂකයකුට මත්කුඩු ප්‍රවාහනය කිරීමේ චෝදනාවක් මත ඔහුට එරෙහිව අධීකරණයේ නඩුවක් විභාග වන බවට ඉදිරිපත් වූ තවත් විරෝධතාවයකින් කියැවේ.

කෙසේ වුවත් එහි අපේක්ෂකයා ඒ පිළිබඳව ප්‍රකාශකර ඇත්තේ එය තමන්ට එරෙහිව එල්ලවූ චෝදනාවක් පමණක් බවත් එම නඩුවෙන් තමන් තවමත් නිවැරදිකරුවකු හෝ වැරදිකරුවකු කර නැති බවයි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’යට ප්‍රකාශ කළේ සිකුරාදා විශේෂ මහසභා රැස්වීමෙන් පසුව ජිම්නාස්ටික් සංගමයේ නැවත විධිමත්ව නිලවරණය කැඳවීම සඳහා නිලවරණ මෙහෙයුම් කමිටුව පත්කර ගන්නා බවයි.

ජිම්නාස්ටික් සංගමයේ ඇතිවී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දැනට වසරකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය මෙන්ම දේශීය තරග සංවිධානය ද ඇණහිට ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

 


අදහස් (0)

නිලවරණය කැඳවන්න මෙහෙයුම් කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.