Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටී. කප් පාපැදි සවාරිය ගැන සුබවාදී බලාපොරොත්තු

ටී. කප් පාපැදි සවාරිය ගැන සුබවාදී බලාපොරොත්තු

නාමල් පතිරගේ - 2020 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ටී - කප් පාපැදි සවාරිය මෙම වසරේදී පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකාව තවදුරටත් සුභවාදී බලාපොරොත්තු තබා තිබෙන බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දැරූ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාව සත්කාරය දරන එකම අන්තර් ජාතික පාපැදි තරගය වන ටී - කප් පාපැදි සවාරිය අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ තරග දින දසුනට අනුව  මැයි මාසයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණි. එය දින තුනක තරගයකි.  එහෙත් උද්ගතව තිබෙන කොරෝනා (කොවිඩ් 19) වසංගත තත්ත්වය හමුවේ එය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ මෙම වසරට නියමිත තරග දින දසුනේ ජාත්‍යන්තර පාපැදි තරග 21 ක් පැවැත්වෙන අතර, එම සියලු තරග මේ වන විට කල් දමා තිබේ. ශ්‍රී ලංකාව සත්කාරය දරන එකම අන්තර් ජාතික පාපැදි තරගය පසුගිය වසරේදීත් පැවැත්වීමට නොහැකි වූයේ පාස්කු ප්‍රහාරය හේතුවෙනි.

මීගමුවේ සිට පාසිකුඩා දක්වා වාර්ෂිකව එකම ගමන් මාර්ගයක පැවැත්වෙන ටී - කප් පාපැදි සවාරිය අග්නිදිග ආසියාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර පාපැදි තරගයයි. පාසිකුඩා සිට මහියංගනය දක්වාත්, මහියන්ගනයේ සිට මහනුවර දක්වාත්, මහනුවර සිට මීගමුව දක්වාත් අදියර තුනක් ඔස්සේ ටී - කප්  පාපැදි සවාරිය පැවැත්වේ.

වසර 2019 තරගයට විදේශීය පාපැදි කණ්ඩායම් 38ක් හා දේශීය පාපැදි කණ්ඩායම් පහක් සහභාගි වන බව ප්‍රකාශ විය. ඒ සඳහා රුපියල් මිලියන 22ක වියදමක් අපේක්ෂා කළේය.
ටී - කප් පාපැදි සවාරියේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් 25,000කට ආසන්න ත්‍යාග මුදලක් 20 වැනි ස්ථානය දක්වා ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ලංකා සංචාරක මණ්ඩලයේ සහයෝගයෙන් ලංකා ස්පෝට්රයිසන් ආයතනය මෙම පාපැදි සවාරියට අනුග්‍රහය දක්වයි.

මේ සම්බන්ධයෙන් ලංකාදීපයට වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා පැවසුවේ, මෙම වසරේදී තරගය පැවැත්වීම කෙරෙහි වඩාත් ධනාත්මකව අපේක්ෂා පළ කර සිටින බැවින්, එය අත්හිටුවීමට කිසිදු අදහසක් නොමැති බවයි.

“ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ අධිපති තිලක් වීරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වඩාත් අපේක්ෂාසහගතව පසුවෙනවා. පසුගිය වසරේදී මෙම තරගයට අත්වූ ඉරණම මේ වසරේදී කෙසේවත් අත් නොකරන්න තිලක් වීරසිංහ මහතා දැඩි උනන්දුවෙන් පසුවීම පාපැදි ක්‍රීඩාවට සතුටු විය හැකි කාරණාවක්’’ යයි ද කරුණාරත්න මහතා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළ දක්වා  පැතිරුණු ගමන් මාර්ගයක් ටී - කප්  පාපැදි සවාරිය සඳහා යොදා ගෙන ඇත්තේ එය දිවයිනේ සංචාරක ව්‍යාපාරය වඩාත් පැතිර පවතින ප්‍රවර්ධන කලාපයක් ලෙස සලකාය.

මෙම ජාත්‍යන්තර පාපැදි සවාරිය සඳහා රටවල් සිය ක්‍රීඩකයන් සහභාගි කරන්නේ කණ්ඩායම් වශයෙනි. දැන් උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ටී - කප් පාපැදි සවාරිය මෙම වසර අගභාගයේදී පැවැත්වීමට සංවිධායකයෝ උනන්දු වී සිටිති.

 


අදහස් (1)

ටී. කප් පාපැදි සවාරිය ගැන සුබවාදී බලාපොරොත්තු
  • A.Rathnasiri Thursday, 28 May 2020 03:05 AM

    ඉතාමත් සතුටු දායක ආරංචියක් සියළුම පාපැදි ක්‍රීඩකයින් හට... කෙසේ හෝ පැවැත්වීමට ආශීර්වාද කරමි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.