Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් අවලංගු කරන්න’යි පෙත්සමක්

ඔලිම්පික් අවලංගු කරන්න’යි පෙත්සමක්

editorial - 2021 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සති 10 ක් පමණක් තිබියදී ඔලිම්පික් උළෙල අවලංගු කරන්න’යි ඉල්ලා සිටිමින් අත්සන් 350,000 කට වැඩි සංඛ්‍යාවක් සහිත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මේ අතරවාරයේදී කොවිඩ් - 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජපාන රජය හදිසි තත්වයක් ප්‍රකාශ කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

මේවන විටත් ටෝකියෝ සහ අනෙකුත් ප්‍රදේශ සඳහා මැයි මස අවසානය දක්වා හදිසි නියෝග පනවා ඇතැයි ප්‍රකාශයට පත්කර තිබේ. ඔලිම්පික් මැරතන් තරගය සඳහා සත්කාරකත්වය දරන උතුරු හොකයිඩෝ ඇතුළු තවත් කලාප තුනක් මෙම හදිසි තත්ත්වය හා එක්වීමට සූදානම් ව සිටී.

ජපානයේ වෛද්‍ය ක්‍රමයට දැඩි පීඩනයක් එල්ල කරන කොවිඩ් -19 සිව්වන රැල්ලට එරෙහිව සටන් කිරීමේ අරමුණින් මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතරවාරයේදී ඔල ක්‍රීඩා උළෙල පැවැත්වීමට දැඩි ලෙස විරුද්ධ වන මහජනතාව තවදුරටත් බියට පත්ව සිටින ආකාරයක් පෙන්වයි.

ටෝකියෝ ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු අපේක්ෂකයෙකු වූ, නීතිඥ කෙන්ජි උට්සුනෝමියා මහතා, අත්සන් 351,000 ක පෙත්සම නගර බලධාරීන්ට ඉදිරිපත් කරමින්, ක්‍රීඩා සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේ “ජීවිතයට ප්‍රමුඛතාවය දෙන්න” කියාය.

“මම හිතන්නේ මේ වතාවේ අපි හිතන්න ඕනා ‘ඔලිම්පික්’ නමින් හැඳින්වෙන උත්සවයකට ප්‍රමුඛතාව දෙනවාද නැතහොත් ජීවිතයට ප්‍රමුඛතාව දෙනවාද කියන එක ගැනයි” යයි උට්සුනෝමියා මහතා කීවේය. ඔහු ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයික්ගෙන් ඉල්ලා සිටියේ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට බල කරන ලෙසයි.

අන්තර්ජාලය ඔස්සේ අත්සන් කරන ලද මෙම පෙත්සම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට සහ ජාත්‍යන්තර පැරලිම්පික් කමිටුවට (අයිපීසී) මෙන්ම ප්‍රාදේශීය සංවිධායකයින් සහ ජාතික රජය වෙත යවනු ලැබේ.

“මෙම තත්වයන් යටතේ ඔලිම්පික් පැවැත්වීම යනු වටිනා වෛද්‍ය සම්පත් ක්‍රීඩාව සඳහා වෙන්කිරීමයි” යැයි ද උට්සුනෝමියා මහතා අනතුරු ඇඟවීය.

වසංගතය අතරතුර ක්‍රීඩා උළෙල ආරක්ෂිතව පැවැත්වීම “කිසිසේත්ම කළ නොහැකි” බව ජපානයේ වෛද්‍යවරුන්ගේ සංගමය බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවූ නමුත් සංවිධායකයින් පවසන්නේ වෛරසයට එරෙහි වීමේ ක්‍රියාමාර්ග මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජපන් මහජනතාවද ආරක්ෂා කරගත හැකි බවයි.

ජාත්‍යන්තර පැරලිම්පික් කමිටුවේ ප්‍රධානී ඇන්ඩෲ පාසන්ස් මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔලිම්පික් උළෙල පිළිබඳ ජපනුන්ගේ “කෝපය” සාධාරණ යයි පිළිගත්තේය. එහෙත් දෛනික පරීක්ෂාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සීමිත චලනය ඇතුළුව දැඩි නීති රීති මඟින් ඕනෑම කෙනෙකුට ආසාදනය වීමේ අවස්ථාව “සැබවින්ම දුරස්ථ” බව ඔහු පැවසීය.

පසුගිය දිනවලදී, ඔලිම්පික් තරග සංවිධායකයින් ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඇතුළුව සාර්ථක පරීක්‍ෂණ ඉසව් මාලාවක් පවත්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශිත -නියෝග ක්‍රියාත්මක වන බව ඔව්හු පවසති.

පසුගිය සතියේ ජපානයේ පැවති පරීක්‍ෂණ ඉසව්වලට සහභාගී වූ ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ මහතා පැවසුවේ මේ දක්වා කිසිදු ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක් වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානයක් වී නොමැති බවයි.

“ලෝකය ඉදිරියට ගමන් කිරීමට අවශ්‍යයි,” යයි සෙබස්තියන් කෝ මහතා බි්‍රතාන්‍යයේ ඩේලි මේල් පුවත් පතට ලියා තිබේ.

“පාපන්දු, රග්බි, ටෙනිස් සහ මලල ක්‍රීඩා සියල්ලම නැවතත් ක්‍රියාත්මක වන අතර, සෙනග සෙමෙන් ආපසු පැමිණෙන විට, ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට බාධකයක් යෙදීම අමුතු දෙයක් ලෙස පෙනේ. එහිදීත්, වෙනත් ඕනෑම ජීවන ගමනකට වඩා නිර්දේශිත නියෝග දැඩි වනු ඇත. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ සහායක කණ්ඩායම් එන්නත් ලබා දීමෙන් පසු ජපානයට පැමිණෙනු ඇත” යයිද සෙබස්තියන් කෝ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ජපානයේ රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ‘සොෆ්ට්බෑන්ක්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මසයෝෂි සෝන් මහතා කියා සිටියේ ඔලිම්පික් උළෙල ඉදිරියට යාම ගැන තමා බියට පත්වන බවයි.

“මම ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් බියෙන් ඉන්නවා” යයි ඔහු සීඑන්බීසී වෙත පැවසීය.

”ජපානය පමණක් නෙමේ.., බොහෝ රටවල් තවමත් විශාල, දුෂ්කර තත්වයක පසුවෙනවා.. ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමට ඔවුන්ට හැක්කේ කොහොමද කියා මා නම් දන්නේ නෑ” යයිද ‘සොෆ්ට්බෑන්ක්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මසයෝෂි සෝන් මහතා කීවේය.

ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරියක වන නයෝමි ඔසාකා සහ මාස්ටර්ස් ශූර හිදේකි මට්සුයාමා ඇතුළු ජපානයේ ඉහළ පෙළේ ක්‍රීඩා තරු කිහිපයක් වසංගතය අතරතුර ක්‍රීඩා උළෙල පැවැත්වීම පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබේ.

එහෙත් පෙත්සම අත්සන් කිරීමේ මූලිකත්වය ගත් කෙන්ජි උට්සුනෝමියා  සිය අදහස අතහැර නැත. “අවලංගු කිරීම නිවේදනය කරන තෙක්” පෙත්සම වෙනුවෙන් අත්සන් එකතු කරන බව පැවසූ උට්සුනෝමියා මහතා, දැවැන්ත උත්සව අවලංගු කිරීමේ පිරිවැය පිළිබඳ කනස්සල්ල බැහැර කළේය.

”මුදලට වඩා ජනතාවගේ ජීවිත වැදගත් ය,” ඔහු පැවසීය.

- 213

 


අදහස් (0)

ඔලිම්පික් අවලංගු කරන්න’යි පෙත්සමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.