Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අබේසිංහ - යටවර රනින් බැබළෙති

අබේසිංහ - යටවර රනින් බැබළෙති

editorial - 2019 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැතිව් අබේසිංහගේ දෙවැනි රන් පදක්කමත් ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩිකා ග්‍රේස් යටවරගේ රන් පදක්කම් දෙකත් හේතුවෙන් නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද රන් පදක්කම් සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගියේය. තරගාවලියේ හයවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 29 ක් ඇතුළුව පදක්කම් 152 ක් දිනා තිබිණ. එහෙත් තවමත් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව රන් පදක්කම් 42 ක් හිමිකරගෙන සිටින නේපාලයට වඩා පසුපසින් සිටී.

මේ දිනවල නේපාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 ක් දක්වා පහළ බැස තිබෙන හෙයින් දැඩි සීතල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට පත්කර තිබේ.

මීටර 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් තරග කළ මැතිව් අබේසිංහ තත්පර 22.16 කින් තරගය නිමා කළේ නව වාර්තාවක් පිහිටුවමිනි. එය, 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔහු විසින්ම පිහිටුවන ලද, ශ්‍රී ලංකා වාර්තාව වන තත්ත්පර 22.65 ඉක්මවා යාමකි. මැතිව් අබේසිංහ සතුව මේ වන විට ඇති ශ්‍රී ලංකා වාර්තා සංඛ්‍යාව 9 කි.

ඉන්දියාවේ වික්රම් කාදේ (තත් 22.22) සහ ශ්‍රී ලංකාවේම අකලංක පීරිස් (තත් 22.94) අබේසිංහට පසුපසින් පිහිනා එමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්හ.

අකලංක පීරිස් මීටර 200 පසුපස ආර ඉසව්වේදී රිදී පදක්කම දිනාගත් අතර කවීන්ද්‍ර නුගවෙල එහි ලෝකඩ පදක්කම හිමිකරගත්තේය. රිදී පදක්කම දිනාගත් නමුත් අකලංකගේ විනාඩි 2 : 01.55 දස්කම පසුගිය එක්සත් ජනපද කනිෂ්ඨ තරගාවලියේදී ඇන්ඩෲ අබේසිංහ විසින් පිහිටුවන ලද විනාඩි 2 : 05.09 ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යාමක් විය.

මේ අතර මිටර 1500 නිදහස් ආර තරගයේදී රිදී පදක්කමක් දිනාගැනීමට ඩිලංක ෂෙහාන් සමත් විය. කාන්තා මීටර 200 පසුපස ආර ඉසව්වේදී ගංගා සෙනෙවිරත්න ලෝකඩ පදක්කමක් දිනාගත් අතර මීටර 100 කාන්තා පසුපස ආර ඉසව්වෙන් රමුදි සමරකෝන් තවත් ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. ඇයගේ තරග කාලය විනාඩි 1 : 15.17 ක් විය.

ගොර්කානා ගොල්ෆ් පිටියේදී පැවැති දකුණු ආසියානු ගොල්ෆ් තරගාවලියේ කණ්ඩායම් සහ කේවල කාන්තා ඉසව්වේදී රන් පදක්කම් දෙකක්ම දිනාගැනීමට ග්‍රේස් යටවර සමත්වූවාය. තරගයේ පළමු දිනයේදීම ගොල්ෆ් පිටියේ වාර්තාව බිඳ දැමූ ඇය තමන් සතු වාසිය ඉදිරි දින තුනේදීම පවත්වා ගත්තාය. මෙය කාන්තා ගොල්ෆ් තරගාවලියකදී ශ්‍රී ලංකාව ලබාගත් පළමු වැනි රන් පදක්කමයි. තුහසිනි සෙල්වරත්නම් කේවල තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත්තාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ග්‍රේස් යටවර, තුහසිනි සෙල්වරත්නම් සහ මිනෙල් බාලසූරිය තිදෙනාගෙන් සමන්විත වූහ.

ගොල්ෆ් පිරිමි කණ්ඩායම් තරගයේදී ශ්‍රී ලංකා පිලට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නේපාලය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7 කට ලකුණු 118 ක් ලබාගත් අතර නේපාල කණ්ඩායම කඩුලු 9 ක දැවී ලකුණු 77 කට සීමා කෙරිණ. අවසන් තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

පාපැදි ක්‍රීඩිකාවන් වූ දිනේෂා දිල්රුක්ෂි සහ උදේශි කුමාරසිංහ රිදී පදක්කම් දිනාගත් අතර අවිශ්ක මැඩොන්සා ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

කඩු සරඹ වලදී රොෂාන් ආරච්චිගේ ලෝකඩ පදක්කමක් දිනාගත් අලී සියාවුද්දීන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

අබේසිංහ - යටවර රනින් බැබළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.