Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව 2022 ආසියානු ශූරතාවලිය ඉල්ලයි

ශ්‍රී ලංකාව 2022 ආසියානු ශූරතාවලිය ඉල්ලයි

නාමල් පතිරගේ - 2020 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2022 ට නියමිත ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්මී වික්ටෝරියා මහත්මිය පැවසුවාය.

ආසියානු දැල්පන්දු සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනියක වන ඇය සඳහන් කර සිටියේ මෙම වසරට නියමිතව තිබූ 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය අවලංගු කළ බැවින් මීළඟට යෙදෙන (2022) ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව උපරිම සූදානමින් කටයුතු කරන බවයි.

ජූනි 9 වැනිදා දකුණු කොරියාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය කොවිඩ් 19 වසන්ගත රෝගී තත්ත්වය හමුවේ අවලංගු කර දැමීමට ආසියානු දැල්පන්දු සම්මේලනය පියවර ගත්තේය. ඒ අනුව මීළඟට නියමිත ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා වන සත්කාරක රාජ්‍යය ආසියානු සම්මේලනයේ ඉදිරි මහ සභා රැස්වීමේදී තීරණය කෙරේ.

ආසියානු දැල්පන්දු ශූරතාව මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රී ලංකාව එය පස්වතාවක්ම දිනා ගෙන තිබේ. වසර 2018 දී අවසන් වරට මලයාසියාවේදී පැවැති ආසියානු ශුරතා තරගාවලිය ශ්‍රී ලංකාව අපරාජිතව දිනා ගැනීමට සමත් විය.

වසර 2022 ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත්ම තීරණාත්මක වන්නේ එය එළැඹෙන ලෝක දැල්පන්දු ශුරතාවලියට (2023) කලාපයේ සුදුස්සන් තීරණය කෙරෙන තරගාවලිය වන බැවිනි. එහිදී ශුරතාව හා අනුශූරතාව ලබන රටවල් දෙකම ආසියානු කලාපයෙන් ලෝක දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි.

වසර 2023 දී ලෝක ශූරතාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ‘කේප්ටවුන්’ නුවරදීය.

වසර 2022 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලි ගණනාවකට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවේ. මැයි මාසයේ තායිලන්තයේදී  පැවැත්වෙන ආසියානු ආරාධිත තරගාවලිය, ජූලි මාසයේදී  පීජි දූපත්හිදී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය, අගෝස්තු මාසයේදී පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය හා දෙසැම්බර් මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්වෙන සිංගප්පූරු ආරාධිත දැල්පන්දු තරගාවලිය එම තරගාවලි වේ.

මේ අතර ජාතික දැල්පන්දු සංචිතයේ ක්‍රියාකාරකම් පසුගිය මාර්තු 16 වැනිදා සිට අත්හිටුවීමෙන් පසුව ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය දැරූ තිලකා ජිනදාස මෙනවිය එම ධුරයෙන් ඉල්ලා අස් වූවාය.  ආසියානු දැල්පන්දු තරගාවලිය අවලංගු  කිරීමෙන් පසුව ජාතික දැල්පන්දු සංචිතයේ කටයුතු අත්හිටුවීමට ගත් තීරණයෙන් පසුව නිශ්චිත රාජකාරියක් නොවූ ජිනදාස මෙනවිය මෙසේ ජාතික පුහුණුකරු ධුරය හැර ගිය බව වාර්තාවේ.

එම තරගාවලිය ඉලක්ක කරමින් ඇගේ සේවය දීර්ඝ කිරීමට දැල්පන්දු  සම්මේලනය පියවර ගත් අතර මේ වන විට ඇය ජාත්‍යන්තර පාසලක දැල්පන්දු පුහුණුකරු පත්වීමක් ලබා ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ප්‍රධානීන් පෙරේදා (28) සිය අමාත්‍යාංශයට කැඳවූ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ..ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් දැල්පන්දු සම්මේලනයේ කටයුතු යළි අරඹන ලෙස උපදෙස් දී තිබේ.

දැල්පන්දු සම්මේලනයේ නිලවරණය (2020-21) ලබන අගෝස්තු 31 වැනිදාට පෙර පැවැත්වීමටද එම සම්මේලනය සූදානමින් පසුවේ. දැල්පන්දු සම්මේලනයේ පැවැති නිලවරණය (2019-20) ක්‍රීඩා පනතට පටහැනි යයි දක්වමින් වෙළඳ සේවා දැල්පන්දු සංගමය පැවරූ නඩුවක් අභියාචනාධිකරණයේ විභාගයට ගැනීම මේ වන විට අවස්ථා කීපයකදීම කල් දමනු ලැබීය.
 


අදහස් (0)

ශ්‍රී ලංකාව 2022 ආසියානු ශූරතාවලිය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.