Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලොව දිනූ දිනූෂාගේ දිරිය ගමන

ලොව දිනූ දිනූෂාගේ දිරිය ගමන

editorial - 2021 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
විනීතා ගමගේ
-------------------

රන් පදක්කම් 250 ක්,  රිදී පදක්කම් 300 ක් පමණ සහ‍ ලෝකඩ පදක්කම් 100 ක් පමණ ද සමග කුසලාන 150 ක් පමණ ද ඇතුළුව දිනාගත් පදක්කම් හා කුසලාන 800 කට මඳක් වැඩි ප්‍රමාණයක් එහි තිබිණි.

“සම්මාන හදල විකුණන කඩයක් වෙන්න ඇති.” ඔබ එසේ සිතනු ඇත.

නැත ඒ කරාටේ ශූරියක ගේ නිවසකට ගිය අවස්ථාවක ඇය දිනූ  සම්මාන කුසලාන හා පදක්කම් ගණන් කළ අවස්ථාවය.

පුදුම නොවන්න. 31 හැවිරිදි දිනුෂා අට හැවිරිදි වි‍යේ සිට කරාටේ ක්‍රීඩිකාවක ලෙස උපයාගත් දෑ එසේ මම ගණන් කළෙමි. පාසල් මට්ටමේ හා ප්‍රාදේශිය මට්ටමේ සම්මානවලට වඩා ඇය සතුව තිබුණේ ජාතික හා ජාත්‍යන්තර තලයේ දී දිනු සම්මානය, කුසලානය සහ පදක්කම්ය.

කඩවත උපන් ඩී. පී. බී. දිනුෂා කුමාරි පෙරේරා මේ හපනියයි.

කඩවත බැප්ටිස්ට් විද්‍යාලයේදී මුලික අධ්‍යාපනයත් කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ දී ද්විතියක අධ්‍යාපනයත් ලැබූ ඇය කරාටේ ක්‍රීඩාවට යොමු වූයේ අට හැවිරිදි වියේ දීය.

“පුංචි කාලෙ මම කරාටේ ගහද්දි අම්ම තාත්ත කැමති වුනේ නැහැ. ඒක සටන් කලාවක් නිසා තමයි අකමැති වුනේ. ඒක හොඳ පිරිමි ළමයින්ට කියලයි ඒ අය කිව්වේ.“

“නමුත් පස්සෙ පස්සෙ තේරැම් ගත්තා ඒක වැරදියි කියලා. ගැහැණු ළමයෙකුගේ ආත්මාරක්ෂාවට කරාතේ දැන සිටීම ඉතා හොඳයි. ” ඇය යටගියාව සිහිපත් කළාය.

කාර්මික ශිල්පියෙකු වන පියාට තරමක් ලොකු පවුලක් නඩත්තු කරන්නට සිදුවී තිබිණි. ඔහු එය නොපිරිහෙලා ඉටු කරමින් දියණියන් පස්දෙනාටත් පුතාටත් අගහිඟනොවන පරිදි රැක බලාගත්තේය. දිනුෂා ගේ අම්මා ද ගෘහණියක් සේ සිය යුතුකම් ඉටු කළාය.

“දැන් මගේ අක්කල තුන් දෙනාම විවාහකයි. නංගි උපාධිධාරිණීයක්. දැන් ඇය ගුරු සේවයේ. මල්ලි මීට අවුරුදු අටකට කලින් අනතුරක් වෙලා නැතිවුණා. ” දිනූෂා කීවාය.

ඇය මුලින්ම ජාත්‍යන්තර තරඟයකට සහභාගි වී ඇත්තේ 2008 වසරේ දීය. ඒ කණිෂ්ඨ ආසියානු ශූරතාවයයි. එහි දී ආසියාවේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා අතරට එන්නට ඇයට හැකි විය. එදා මෙ‍දා තුර ඇය දිනා ඇති ජාත්‍යන්තර තරඟ ගණන ඇයට මතකයෙන් කිව නොහැකි තරම් වැඩිය. එහෙත් මේ වනවිට ජාත්‍යන්තර තලයේ දිනූ රන් පදක්කම් ගණන 100 ඉක්මවා ඇත.

2015 දී පොදුරාජ්‍ය මණ්ඩලීය අටවන කරාතේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනුවේ ඇගේ කණ්ඩායමයි. ඔවුන්ගේ ක්‍රීඩා දිවියට ආශිර්වාද කරමින් එවකට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම කණ්ඩායමේ සාමාජිකාවන්ට අඟුලාන සයුරුපුර මහල් නිවාසවලින් නිවාසය බැගින් ප්‍රදානය කලේය. එහෙත් දිනුෂා සිය සම්මාන හා පදක්කම් ඇතුළු දේ  තබා තිබුණේ ඇගේ මවගේ නිවසේය.

මෙම පදක්කම් ඇයගේ මහගෙදර තැබීමට හේතුවක් තිබිණ.

 “ඒ ගෙවල් අපට තෑගි ඔප්පුවලින් ලැබුණට දැන් ඒවට ලක්ෂ 15 ක් ගෙවන්න කියනවා. ඒත් අපට එහෙම ගෙවන්න සල්ලි නැහැ. නොගෙව්වොත් පවරගන්න බව කියල නිවාස අමාත්‍යංශයෙන් ලියුමක් එවල තියනෙව. ඒ නිසා මම අම්මලගෙ ගෙදරට මේව ගෙනත් තිබ්බා. ” ඇය කීවාය.

රටට කිර්තියක් ගෙන එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සලකන බව මාධ්‍යයට පෙන්වන නමුත් එසේ කිරීමේදී  දේශපාලන භේද පසෙකලා ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ගයක් නොගැනීමේ ප්‍රතිපලයකි ඒ.

“මම ශ්‍රී ලංකා ජාතික කරාතේ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ 30 කට සහභාගි වෙලා තියෙනවා. ඒත් එයින් තුනකට විතරයි රජයේ අනුග්‍රහය ලබා දීල තියෙන්නේ. අනෙක් ඒව සියල්ලම අපි අතින් වියදම් කරන් ගියේ. “

“මම මගේ කාර් එක විකුණලයි ලෝක කුසලාන තරඟාවලියට ගියේ. ඔක්කොම රත්තරන් බඩු උගස් කරල තියෙන්නේ. ලක්ෂ තුනක විතර ඒව තියෙනවා බේර ගන්න. ඒ විතරක් නොවෙයි, අපේ තාත්ත හම්බ කරන ඒවත් මේ වැඩ වලට තමයි වියදම් වෙන්නේ.“ දිනූෂා කීවාය.

ඇත්තටම දැන් නම් තනිව මේ දුර යන්න බැහැ. සහයක් අවශ්‍යයි. අපි තරඟ කරන්නේ රට වෙනුවෙන්. රටේ අභිමානය රකින්න අපි දැඩි වෙහෙසක් ගන්නවා. ඒත් රජයක් හැටියට අපට ඒ වෙනුවෙන් දිය යුතු සහය නොදෙන්න හේතුව තවමත් මට නම් වැටහෙන්නේ නැහැ. ”ඇය කීවාය.

 


අදහස් (0)

ලොව දිනූ දිනූෂාගේ දිරිය ගමන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.