Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන් කරයි

පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන් කරයි

නාමල් පතිරගේ - 2020 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් නිල කාලය අවසන්ව තිබෙන බැවින් එහි කටයුතු මෙතැන් සිට නීත්‍යානුකූල නොවන බවත් ඒ අනුව ක්‍රීඩා සමාජ නාම ලේඛනයක් ක්‍රීඩා අමාත්‍යාංශයට බාරදෙන ලෙසත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා අද (20) පාපැදි සම්මේලනයට දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීපය කළ විමසුමකදී වික්‍රමසිංහ මහතා පැවසුවේ පසුගිය 2019 අගෝස්තු මාසයේ සිට පාපැදි සම්මේලනයේ පාලනය ගෙන ගිය නිලධාරීන්ට එහි  ව්‍යවස්ථාවට අනුව නිලවරණය කැඳවන ලෙස දුන් උපදෙස් දිගින් දිගටම නොසලකාහැරීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියමයෙන් ඊයේ පාපැදි සම්මේලනයේ වත්මන් පාලනය අවසන් වන බවට ලිඛිතව දැනුම්දීමට ක්‍රියා කළ බවයි.

එන්. කරුණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාපැදි සම්මේලනයේ වත්මන් පාලනය ආරම්භ වූයේ 2018 වසරේ ජනවාරි මාසයේදී පැවති නිලවරණයේදීය.

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව වසරෙන්  වසර නිලවරණය පැවැත්විය යුතු බවයි. එහෙත් මේ වනවිට වසර 2018 හා 2019 යන වසරවල සම්මේලනයේ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්  එහි වත්මන් පාලනය චෝදනා ලබා සිටියි. එම චෝදනාව සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයාට එල්ල කරමින් එහි උපසභාපතිවරු දෙදෙනෙක්ද නොබෝදා ඉල්ලා අස්වූහ.

පාපැදි සම්මේලනයේ වත්මන් පාලනයේ නිල කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ නිලධාරි මණ්ඩලය පත්ව සිටි වසරකට පසුව බැවින් මෙම අවස්ථාවේදී පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන් කිරීම නීත්‍යානුකූල නොවන බව එහි දැනට තනතුරැ දරමින් සිටින නිලධාරි මණ්ඩලයේ අදහස වී තිබේ.

ඒ පිළිබඳව ආර්.බී. වික්‍රමසිංහ මහතා පැවසුවේ ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිල කාලය සිව් වරසක් නොඉක්මවිය යුතු බවට වගන්තියකින් දක්වා තිබෙන බවයි. එහෙත් කිසිදු ජාතික ක්‍රීඩා සංගමයකට සිය ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමකින් තොරව වසරකට වඩා නිල කාලයක් පවත්වාගෙන යා නොහැකි බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන්වීමක් ගැන තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබී නැතැයි එහි සභාපතිධුරයේ ඊයේ (20) පස්වරුව වනවිටත් කටයුතු කරමින් සිටි  එන්. කරැණාරත්න මහතා පැවසීය.

“මට නම් එවැනි ලිපියක් ලැබිලා නෑ. නමුත් සම්මේලනයේ කටයුතු කඩාකප්පල් කිරීමට උනන්දු  වී සිටි පාර්ශ්ව කීපයක් මුහුණු පොත ඔස්සේ ඒ ගැන ලොකු ප්‍රචාරයක් ඊයේ (19) ඉඳලා කරගෙන ගියා....අපි නිලවරණය 2018 කැඳෙව්වෙ ක්‍රීඩා අමාත්‍යාංශය අනුමත කර තිබෙන පනත යටතේ වසර හතරක නිල කාලයකට යටත්වයි. ඒ සඳහා නාමයෝජනා කැඳෙව්වේ, ඡන්ද විමසීම් කළේ, නිලධාරීන්, තනතුරුවලට පත්වුණේ සිව් වසරක කාලයක් පදනම් කර ගනිමිනුයි” යයි කී කරුණාරත්න මහතා ක්‍රීඩා ඇමතිවරයා දැනුවත් කරමින් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සම්මේලනයක් වශයෙන් අප කටයුතු කරන බවද පැවසීය.


අදහස් (0)

පාපැදි සම්මේලනයේ නිල කාලය අවසන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.