Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තටාක විවෘත කිරීමේ අවසරය ඕනෑ

තටාක විවෘත කිරීමේ අවසරය ඕනෑ

editorial - 2020 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිනුම් තටාක විවෘත කිරීමට අනුමැතිය දෙනතෙක් පිහිනුම් ජාතික සංචිතය ඇරඹීම හෝ දෛනික පුහුණුවීම් ආරම්භ නොකිරීමට ශ්‍රී ලංකා පිහිනුම් සංගමය තීරණය කර ඇත.

සුගතදාස පිහිනුම් තටාකය කේන්ද්‍රකර ගෙන ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ සහ පාසල් රැසක පිහිනුම් තටාක 30කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර, එම සෑම පිහිනුම් තටාකයක්ම යළි විවෘත කරනු ලබන්නේ සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබීමෙන් පසුව බව ශ්‍රී ලංකා පිහිනුම් සංගමයේ සභාපති නේතෲ නානායක්කාර මහතා පැවසීය. පාසල් මට්ටමේ සහ ජාතික මට්ටමේ ඇතුලු සියලුම පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වටිනා ජීවිත අවදානම් තත්වයකට පත්කිරීමට කිසිසේත්ම නොහැකි යයි ඔහු සඳහන් කරයි.

ජාත්‍යන්තර මට්ටමේ සහ ජාතික මට්ටමේ සියලුම තරගාවලි අතිහිටුවා ඇති මෙම කාලයේ කඩිනමින් ජාතික සංචිත හෝ පුහුණුවීම් ආරම්භ කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැති බව පෙන්වා දෙන සභාපතිවරයා ජාතික සංචිතයක් තෝරාගත යුත්තේ අවම වශයෙන් මාසයක පමණ කාලයක් පුහුණුවීම් වල නිරත කිරීමෙන් පසු බව පවසයි.

කොරෝනා ව්‍යසනය පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි බාධාවක් වී ඇති බවත්, මාස 02කට වැඩි කාලයක් පුහුණුවීම් වල නොයෙදීම නිසා එම පිරිසගේ දක්ෂතා (ජවය සහ වේගය) පහළ මට්ටමකට බැස ඇතැයි විශ්වාස කෙරෙන බවත් නානායක්කාර මහතා පෙන්වා දෙයි. මෙම වසරේ මුල් මාස 2තුළ පැවැති තරග කිහිපයක් හැර වෙනත් කිසිදු පිහිනුම් තරගයක් පැවැත්වීමට නොහැකි වූ අතර, සෙසු දේශීය සහ විදේශීය තරගාවලිද, අත්හිටුවා ඇත.

දැනට පවතින තත්වය පාලනය වුවහොත් ආධුනික ජාතික ශූරතාව සහ පාසල් මට්ටම් තරගාවලි කිහිපයකට ප්‍රමුඛත්වය දී ලබන දෙසැම්බර් 31 ට පෙර තරගාවලි කිහිපයක් පැවැත්වීමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වේ.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට නියමිතව සිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් විවිධ ආබාධ මුල්කරගෙන සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය හැකි තවත් පදක්කම් කිහිපයක් අහිමි වූ බවත්, දකුණු ආසියානු ක්‍රීඩාවලට සහභාගි නොවූ එම පිරිසට වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම සඳහා දින වකවානු ලබා දී තිබුණු බවත්, එම කාලය අවසන් වී ඇතත්, අදාළ වෛද්‍ය සහතිකය ඉදිරිපත් කර ඇත්තේ එක් අයෙකු බවත් පැවසූ පිහිනුම් සභාපතිවරයා, සංගමයේ නියමයන්ට අවනත නොවූ අයට එරෙහිව විනයානුකූලව පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැවසීය.

මේ අතර ලබන 2021 වසර ඉලක්ක කරගෙන පිහිනුම් ක්‍රීඩාව සඳහා විශේෂඥ පුහුණු අධ්‍යක්ෂවරයෙක් පත්කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් සංගමය බලාපොරොත්තු වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් අදාළ පුහුණු අධ්‍යක්ෂවරයා විදෙස් රටකින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර, චීනය, ඇමෙරිකාව හෝ හංගේරියාව යන රටවල් අතරින් ඒ සඳහා සුදුස්සා තෝරාගැනීමට බලාපොරොත්තු වේ.
දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ පුහුණු කරුවන් වන ජූපියන් බෝලිං, මනෝජ් අබේසිංහ යන පුහුණුකරුවන් කාර්ය බහුල අය වන හෙයින් එම අයගේ පුහුණු කටයුතු අධීක්ෂණය කිරීම අලුතෙන් පත්කෙරෙන පුහුණු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධාන කටයුත්ත වේ.

“අපිට ජාතික පුහුණු කරුවෙක් දැනට නැහැ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇතුලු ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරගෙන පමණක් අවස්ථාවෙන් අවස්ථාවට සංචාර සඳහා අවශ්‍ය ප්‍රධාන පුහුණුකරුවන් පත්කරනවා. ඒ වගේම දැනට ලංකාවේ 1, 2, 3 යන ශ්‍රේණිවල පුහුණු කරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. නමුත් 4 සහ 5 යන ඉහළ ශ්‍රේණිවලට අයත් පුහුණු කරුවන් නැහැ. පුහුණු අධ්‍යක්ෂවරයා 4 හෝ 5 හෝ ශ්‍රේණියට අයත් පුහුණුකරුවකුගෙන් පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. “ යැයි නේතෲ නානායක්කාර මහතා පැවසීය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වෙනත් කිසිඳු අයෙකු සුදුසුකම් ලබා නැතැයි පැවසූ සභාපතිවරයා ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනයේ පරිසාධන මට්ටම අනුව බොහෝවිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ඔලිම්පික් වරම් ලැබෙනු ඇතැයි විශ්වාසය පලකළේය.

 


අදහස් (0)

තටාක විවෘත කිරීමේ අවසරය ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.