Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික මට්ටමේ තරග සංවිධානය සම්මේලනයෙන් පමණයි

ජාතික මට්ටමේ තරග සංවිධානය සම්මේලනයෙන් පමණයි

නාමල් පතිරගේ - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික (විවෘත) ස්ටෑන්ඩඩ් පාපැදි තරග ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය බාරයේ පැවැත්වීමට ගෙන තිබෙන තීරණය දිස්ත්‍රික් පාපැදි සංගම්වල හෝ වෙනත් පාර්ශවයක විරෝධය හේතුවෙන් කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව එම සම්මේලනයේ සභාපති, අන්තර්ජාතික පාපැදි විනිසුරැ එන්. කරැණාරත්න මහතා පවසයි.

දිස්ත්‍රික් පාපැදි සංගමයක වගකීම වන්නේ සිය බල ප්‍රදේශය වන දිස්ත්‍රික්කය තුළ පාපැදි ක්‍රීඩා කටයුතු මෙහෙයවීම පමණක් බවත් රට තුළ පාපැදි ක්‍රීඩාව පාලනය කරන ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට ජාතික මට්ටමේ සියලු තරග මෙහෙයවීමේ වගකීම් පැවරීම තර්කානුකූල බවත් කරැණාරත්න මහතා පවසයි. වැඩිදුරටත් ඔහු අවධාරණය කර සිටින්නේ දිස්ත්‍රික් පාපැදි සංගම් සිය දිස්ත්‍රික්කයක් තුළ සංවිධානය කරන දිස්ත්‍රික් (ස්ටෑන්ඩඩ්) පාපැදි තරග සම්මේලනය විසින් මෙහෙයවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

පාපැදි සම්මේලනයේ සභාපතිවරයාගේ මෙම අදහස් දැක්වීමට හේතුවූයේ රට තුළ සංවිධානය කෙරෙන දිවයිනේ ඕනෑම තරගකරැවකුට සහභාගි විය හැකි ස්ටෑන්ඩඩ් (විවෘත ජාතික මට්ටමේ) තරග ජාතික සංගමයේ ලියාපදිංචි කර එහි මෙහෙයවීමෙන් පැවැත්වීමට පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුව ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය සම්බන්ධයෙන් මේ වනවිට මෙරට පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතාබහක් ගොඩනැගෙමින් පවතින බැවිනි. පාපැදි සම්මේලනය පසුගිය වසරේ පටන් දේශීය පාපැදි තරග මෙහෙයවීමේදී ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුන්වාදීමට කටයුතු කළේය. ඒ අනුව තරගයක් පිටුපසින් ආධාරක යතුරැපැදි හෝ වෙනත් ආධාරක වාහන ගමන් ගැනීම මුළුමනින්ම තහනම් වෙයි.

ඒ වෙනුවට කණ්ඩායම් ලෙස තරග වදින අවස්ථාවලදී විශේෂිත ආධාරක මෝටර්රථ ද කේවල ඉසව් පැවැත්වෙන අවස්ථාවලදී ආධාරක පෝෂණ කලාප ද හඳුන්වා දෙනු ලැබීය.

එම නව ක්‍රමවේද තුළින් රටේ පාපැදි ක්‍රීඩාව කෙරෙහි රට තුළ ගොඩනැගී තිබුණු අප්‍රසන්න හා ඍණාත්මක තත්ත්වයන් පහව ගිය බවත් යතුරැපැදිවල වතුර බාල්දි රැගෙනයමින් ඉතා අශෝබන ලෙස හැසිරැණු ආධාරකරැවන්ගෙන් මහජනතාවට ඈත්වුණු ඇතැම් හිරිහැරකාරී තත්ත්වයන් ද ඒ සමගම තරග මාර්ගයෙන් පහව ගිය බවත් පාපැදි සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

ළඟ එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කෙරෙන පාපැදි තරග හැකිතාක් විවෘත තරගවලින් බැහැරව පැවැත්වීමට කටයුතු කළ යුතු බවද සම්මේලන සභාපතිවරයා පැවසීය.

එහි අරමුණ ගමේ තරගකරැවන්ට ගමේ තරගයේ වැඩි අවස්ථාවක් සළසා දීමය. විශේෂයෙන්ම සිංහල අවුරැදු කාලයේදී සංවිධානය කරන පාපැදි තරග විවෘත තත්ත්වයෙන් පැවැත්වුවත් ඒ සඳහා සහභාගිත්වය අවම වේ. ඊට හේතුව සිංහල අවුරැදු කාලයේ රටපුරා පාපැදි තරග පැවැත්වීම සුලබවීමෙන් තරගකරැවන් එම තරගවලට බෙදීයාමය.

ස්ටෑන්ඩඩ් පාපැදි තරග සංවිධානය දැනටත් පාපැදි සම්මේලනයේ භාරයේ සිදුවන බැවින් (ජාතික මහ ක්‍රීඩා උළෙල, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - ස්ටෑන්ඩඩ් පාපැදි තරග ආදිය) ඒ පිළිබඳව දිස්ත්‍රික් සංගමයක විරෝධයට කිසිදු තාර්කික පදනමක් නොමැති බවද එහිදී අවධාරණය කෙරේ.

රේසින් (මාර්ග) පාපැදි තරග මෙහෙයවීම අප්‍රේල් මාසය තුළදී අත්හිටුවීමට සම්මේලනය ගත් තීරණය 2019 වසරේදී ඉවත් කෙරුණි. ඒ වෙනුවට රේසින් තරගකරැවන්ට අප්‍රේල් මාසයේදී වෙනම තරග මාලාවක් හඳුන්වාදීමට පියවර ගත් අතර එහි අරමුණ අවුරැදු සමයේ පැවැත්වෙන ස්ටෑන්ඩඩ් පාපැදි තරග සඳහා ඔවුන්ගේ ඉදිරිපත්වීම අවම කරමින් නවකයන්ට එහි අවස්ථාව වැඩි කිරීම බවත් පාපැදි සම්මේලනයේ සභාපතිවරයා තවදුරටත් අවධාරණය කර සිටියේය. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබාගනිමින් ස්ටෑන්ඩඩ් විවෘත පාපැදි තරග සඳහා පාපැදි සම්මේලනයේ මැදිහත්වීම සාර්ථක කරගන්නා බවත් එමගින් ඔහු අවධාරණය කර සිටියි.


අදහස් (0)

ජාතික මට්ටමේ තරග සංවිධානය සම්මේලනයෙන් පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.