Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා පිල 20 දා බොට්ස්වානා යයි

ශ්‍රී ලංකා පිල 20 දා බොට්ස්වානා යයි

editorial - 2019 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන සඳුදා (20) ‘බොට්ස්වානා’ රාජ්‍යයේ පුහුණු තරග සංචාරයක් සඳහා පිටත්ව යයි. 15 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජුලි මස 12 සිට 21 වැනිදා දක්වා එංගලන්තයේ ‘ලිවර්පූල්’ හිදී පැවැත්වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් හැරෙන්නට සෙසු සියලු ක්‍රීඩිකාවෝ මෙවර ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ආසියානු කුසලාන ජයගත් කණ්ඩායමේ සිටි සුරේඛා කුමාරි ගමගේ වෙනුවට දීපිකා ප්‍රියදර්ශනි අබේකෝන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටී. 

බොට්ස්වානා පුහුණු තරග සංචාරය අරඹන ශ්‍රී ලංකා කණ්ඩායම එරට ජාතික දැල්පන්දු කණ්ඩායම හා යොවුන් කණ්ඩායම සමග තරග කිහිපයකටම සහභාගිවීමට නියමිතය. කණ්ඩායමේ කළමනාකාරිය ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මියයි.

බොට්ස්වානා රාජ්‍යය ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 23 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 19 වැනි ස්ථානයේත් පසුවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශිත නායිකා චතුරංගනී ජයසූරිය, උප නායිකා ගයනි දිසානායක, ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස දැනට ගැනෙන තර්ජනී ශිවලිංගම්. දර්ශිකා අබේවික්‍රම, හසිතා මෙන්ඩිස්, තිළිණි වත්තේගෙදර, ගයංජලී අමරවංශ වසර හතරකට පසුව මෙවරත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.

ආසියානු කලාපයේ හොඳම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. 

1963 දී (එංගලන්තයේ ඊස්ට්බොන් නගරයේදී) ආරම්භ වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගිවීමෙන් පසුව  ශ්‍රී ලංකාව නැවත ඒ සඳහා සහභාගිවී ඇත්තේ 1983 දීය. එතැන් සිට වසර 2007 නවසීලන්තයේ ‘ඕක්ලන්ඞ්’ නුවරදී පැවැති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලැබීම හැරෙන්නට ශ්‍රී ලංකාව සෙසු සියලුම ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගිවී තිබේ. 

අවසන් වරට පැවැති (2015 - සිඞ්නි) ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉහළම පසුබෑම පෙන්නුම් කළේ කණ්ඩායම් 16ක් සහභාගි වූ එම තරගාවලියේ අවසන් ස්ථානයට (16) පත්වෙමිනි. එහිදී ශ්‍රී ලංකාව සහභාගිවූ සියලුම තරගවලින් පරාජයට පත්විය. එම තරග සංචාරයේදී දීප්ති අල්විස් (මව) හා සේමිනි අල්විස් හා (දියණිය) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය සහ නායිකාව ලෙස කටයුතු කළහ. 

ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායිකාව ලෙස කටයුතු කළ දර්ශිකා අබේවික්‍රම ඉවත්කර ගයනි දිසානායක උපනායිකාව ලෙස නම්කර තිබේ.

ලබන ජුලි 12 වැනිදා 

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගය ජූලි 12 වැනිදා පැවැත්වේ. පසුව ජූලි 13 වැනිදා උතුරු අයර්ලන්තයට එරෙහිව ද ජූලි 14 වැනිදා ඕස්ටේ්‍රලියාවට එරෙහිව ද මූලික වටයේ තරග පැවැත්වේ. රටවල් 16ක් සහභාගි වන ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ලබන ජූලි 21 වැනිදා පැවැත්වීමට නියමිතය. 

හිටපු නායිකාවක් වන මරිෂා ප්‍රනාන්දු, සුරේඛා කුමාරි ගමගේ හා ගයාත්‍රි කෞෂල්‍යා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන් ලෙස මෙවර සංචිතයට එක්ව සිටිති. 

ආසියානු කුසලාන දිනාගැනීම වෙනුවෙන් දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට නිවාසයක් බැගින් පරිත්‍යාග කළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ‘බොට්ස්වානා’ තරග සංචාරය සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දක්වා තිබේ.  

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට නම්කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම:

චතුරංගනි ජයසූරිය (නායිකා), ගයනි දිසානායක (උපනායිකා), තර්ජනී සිවලිංගම්, හසිතා මෙන්ඩිස්, එලියන්ති සෙකුනපරාල්, ගයංජලී අමරවංශ, නවුජලී රාජපක්‍ෂ, දුලංගා ධනංජලී, දුලංගි වන්නිතිලක, තිළිණි වත්තේගෙදර, දර්ශිකා අබේවික්‍රම සහ දීපිකා ප්‍රියදර්ශනී අබේකෝන් 

ප්‍රධාන පුහුණුකාරිනී - තිලකා ජිනදාස මෙනවිය.  


අදහස් (0)

ශ්‍රී ලංකා පිල 20 දා බොට්ස්වානා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.