Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වට දෙකක් ජයගත් ශ්‍රී ලංකාව තරගයෙන් පරදී

වට දෙකක් ජයගත් ශ්‍රී ලංකාව තරගයෙන් පරදී

editorial - 2019 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පැතුම් ශ්‍රී විජේරත්න) 

කණ්ඩායම් 16ක් තරග කරන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තෙවැනි (අවසන්) තරගයෙන් ෆීජී කණ්ඩායම හමුවේ ලකුණු 59-44 ක පරාජයක් ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වටයේ  සහභාගි වූ  තරග 03කින් එක් තරගයක් පමණක් ජයගෙන ‘ඊ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 

‘ඊ’ කාණ්ඩයට කණ්ඩායම් හතරක් ඇතුළත්ව ඇති අතර, ඒ අනුව තරගාවලියේ 13 සහ 14 වැනි ස්ථාන සඳහා සැමෝවා සහ ෆීජී කණ්ඩායම්ද, 15 සහ 16 වැනි ස්ථාන සඳහා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවද තරග කිරීමට නියමිතය. අද (18දා) ශ්‍රී ලංකා කණ්ඩායමට විවේකී දිනයකි. 

ඊයේ පැවැති ෆීජී සමග තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වඩා වේගවත් තරග රටාවක් අනුගමනය කළ ෆීජී ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ ලකුණු  උපක්‍රමශීලීව වළක්වාලීමට සමත් විය. 

එමෙන්ම සැමෝවා  තරගයේදී මෙන් මෙම තරගයේදීද පළමු වටය ලකුණු 11-10ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහෙත් ලබාගත් එම ජය දෙවැනි සහ තෙවැනි වටවලදී රැකගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපොහොසත් වූහ. ඒ අනුව දෙවැනි වටය ලකුණු 17-09ක් ලෙසද, තෙවැනි වටය ලකුණු 20-08ක් ලෙසද ජයගත් ෆීජී ක්‍රීඩිකාවෝ තෙවැනි වටය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 19ක් ඉදිරියෙන් පසුවිය. 

කෙසේ වෙතත් සිවුවැනි වටය තුළදී යළිත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එය ජයගත්තේ ලකුණු 16-12ක් වශයෙනි. මෙම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අත්වැරදි රාශියක් සිදු කළ අතර, ඒ හේතුවෙන් ලබාගත හැකිව තිබූ ලකුණු කිහිපයක් ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. 

අද (18දා) තරගාවලියේ හත්වැනි දිනය වන අතර දෙවැනි වටයේ තරග අදින් අවසන්වීමට නියමිතය. අවසන් තරගය, අවසන් පූර්ව තරග සහ අනෙකුත් ශ්‍රේණිගත කිරීමේ තරග හෙට (19දා) සිට 21දා දක්වා පැවැත්වේ. 


අදහස් (0)

වට දෙකක් ජයගත් ශ්‍රී ලංකාව තරගයෙන් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.