Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාවට සැනසුමක්

සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාවට සැනසුමක්

editorial - 2019 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පැතුම් ශ්‍රී විජේරත්න එංගලන්තයේ ලිවර්පූල්හි සිට)  

ශ්‍රී ලංකා ගෝල විදින්නිය වන තර්ජිනි සිවලිංගම්ගේ සහ මැද පෙළ ක්‍රීඩිකාවන්ගේ වේගවත් ක්‍රීඩා විලාසය හේතුවෙන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් සිංගප්පූරුව පරදා ලකුණු 88-50ක විශිෂ්ට ජයක් ලැබීමට සමත්විය. ඒ අනුව 2018 වසරේ සිංගප්පූරුවට එරෙහිව දිනාගත් ආසියානු දැල්පන්දු කිරුළ ගිලිහී යාමට නොදී රැකගැනීමට ඔවුහු සමත්වූහ. ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී සිංගප්පූරුවට එරෙහිව ගෝල 19ක පරතරයකින් ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ ගෝල 38ක් වන ඉහළම පරතරයකින් වීම කැපී පෙනේ.

එහි පළමු වටය ලකුණු 21-11ක් ලෙස ද, දෙවැනි වටය ලකුණු 24-11ක් ලෙස ද ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තෙවැනි කාර්තුව නිමා කළේ ලකුණු 26-14ක් වශයෙනි. කෙසේ වෙතත් මෙම තරගයේදී සිවුවැනි වටය දෙපිළ කරට කර තරග කළ අතර, එහෙත් එය ද නිමාවූයේ ලකුණු 17-14ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමිනි.

මෙම තරගයේදී පන්දුව දැල තුළට විදීමේදී මෙන්ම පන්දුව ආක්‍රමණශීලී ලෙස රැගෙන යාමේදී ද පිටියේ ඉතා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කිරීමට දුලාංගි වන්නිතිලක, හසිතා මෙන්ඩිස් සහ ගයාංජලී අමරවංශ සමත්වූහ. ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව ‘ඒ‘ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ අතර, එහිදී ශ්‍රී ලංකාව 13, 14, 15 සහ 16 වැනි ස්ථාන සඳහා ඊයේ (15), අද (16) සහ හෙට (17) තරග කිරීමට නියමිතය. ඒ පිළිවෙළින් සිංගප්පූරුව, ෆීජී සහ සැමෝවා කණ්ඩායම් සමගයි. 

සිංගප්පූරුවට එරෙහිව තරගය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය පවසා සිටියේ සැමෝවා සහ ෆීජී යන කණ්ඩායම්වලින් මීට වඩා අභියෝගයක් බලාපොරොත්තු වන බවත් තම කණ්ඩායමේ අභිප්‍රාය වනුයේ ලෝක කුසලාන තරගාවලියේ 13 වැනි ස්ථානය දිනාගැනීම බවයි. ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය පවසා සිටියේ සිය කණ්ඩායම මෙම තරගයේදී ආසියානු කිරුළ රැකගැනීමේ අභිප්‍රායෙන් තරග කළ බවත් එය සාර්ථක කරගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ දැල්පන්දු කිරුළ දරමින් සිටින බව තහවුරු කළ බවත්ය. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) සැමෝවා කණ්ඩායම සමඟ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට පැවැත්වීමට නියමිතය. දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය හෙට (17) ෆීජී සමග ද පැවැත්වේ.


අදහස් (0)

සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාවට සැනසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.