Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන නිලවරණය එක ගෙදර සටනක්

කායවර්ධන නිලවරණය එක ගෙදර සටනක්

නාමල් පතිරගේ - 2021 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත සංගම් අටකට සහභාගිත්වය සීමා කරමින් ලබන මැයි 12 වැනිදා කැඳවීමට නියමිත ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණයේදී (2021-22) හිටපු සභාපතිවරයකු වන කපිල කුමාර මහතාගේ පාර්ශ්වයට යළිත් බලය හිමිවන ලකුණු පළ වී තිබේ. ඊට හේතුව එම පාර්ශ්වයට හිතවත් එක් පාර්ශ්වයක් පමණක් එදින පැවැත්වෙන නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර සිටීමයි.

 සභාපති ධුරයට එම පාර්ශ්වයෙන් නාමයෝජනා තුනක් ඉදිරිපත් වුවත් ඔවුන් ප්‍රධානතම සභාපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇත්තේ සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතායි. ලයනල් කුමාර හා රේණුක සමන්තිලක යන මහත්වරුද  මීළඟ නිලවරණයේදී සභාපති අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා භාරදී සිටින සෙස්සෝ වෙති.

කෙසේ වෙතත්  සභාපති අපේක්ෂකයන් දෙදෙනකු, නිහාල් වීරතුංග මහතාට සහය පළකරමින් ඉල්ලා අස්වීමෙන් වීරතුංග මහතා මීළඟ සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්වීම තහවුරු වනු ඇතැයිද කායවර්ධන ක්ෂේත්‍රෙය් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව මැයි 12 වැනිදා නිලවරණය කැඳවීමේදී කායවර්ධන සම්මේලනයේ විධායක සභාවේ තනතුරු රැසක් ද නිතරගයෙන් පත්වීමට නියමිතය.

ප්‍රධාන ලේකම් ධුරයට ආසියානු ශූරතා රන් පදක්කම් ලාභී හිටපු කායවර්ධන ශූරයකු වන මිල්ටන් සිල්වා මහතා දැනටමත් නිතරගයෙන් පත්ව සිටියි. එපරිදිම භාණ්ඩාගාරික ධුරයට සිසිර සමන්සිරි මහතා නිතරගයෙන් පත්ව සිටින අතර උප සභාපති ධුර තුනද නිතරගයෙන් පුරවා අවසන්වී තිබේ. සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන තිලක් ජයවීර, සුභාෂ් සිරිවර්ධන හා ආර්.එම්. බණ්ඩාර යන මහත්වරු ඔවුහු වෙති.

උප භාණ්ඩාගාරික ධුරයට කිත්සිරි බණ්ඩාර මහතා පත්ව සිටින්නේද නිතරගයෙනි. කෙසේ වුවත් උප ලේකම් ධුරයට නාමයෝජනා තුනක් ඉදිරිපත්ව තිබේ. එහිදී විශේෂත්වය හිටපු කායවර්ධන ශූරියක වන වර්ජි පීරිස් මහත්මියද ඒ සඳහා අයැදුම්කර සිටීමයි. ජේ.සී. තුෂාර හා කේ.ටී.කේ. චතුරංග සෙසු උප ලේකම් ධුර අපේක්ෂකයෝ වෙති.

තත්ත්වය මෙසේ තිබියදී, සම්මේලනයේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන දෙකකට වැඩි මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්, කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතාගෙන් ඊයේ (5) දෙවැනි දිනයටත් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ප්‍රශ්න කර සාක්ෂි සටහන් කරගෙන තිබේ.

කායවර්ධන විනිසුරුවන්ගේ සංගමය සඳහා මෙවර නිලවරණයේදී පාර්ශ්ව දෙකක් අයිතිය කියාපෑම නිසා එම සංගමය මෙවර නිලවරණයෙන් ඉවත් කර තිබේ. එහිදී ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් හෙට විභාගයට ගැනීමට නියමිතව ඇතැයිද වාර්තාවේ. ඒ සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික ඉන්දික ප්‍රනාන්දු මහතා කර තිබෙන පැමිණිල්ලකට අනුවය.


අදහස් (1)

කායවර්ධන නිලවරණය එක ගෙදර සටනක්
  • Sashi Tuesday, 06 April 2021 02:09 PM

    කොහෙද කීයටද තියෙන්නේ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.