Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බොක්සිං ජාතික සංචිතය තවමත් දුර ඈත

බොක්සිං ජාතික සංචිතය තවමත් දුර ඈත

editorial - 2020 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(සුසිල් ප්‍රේමලාල්)
 
ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු බොක්සිං ශූරතාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් ඉලක්කයක් බව ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය පවසයි. එහෙත් මෙම තරගාවලිය ඉලක්ක කරමින් මෙතෙක් ජාතික සංචිතයක් නම්කර නැත.
 
ඉන්දීය බොක්සිං සංගමය විසින් සත්කාරකත්වය දරනු ලබන මෙම තරගාවලිය පැවැත්වීම සඳහා දැනටමත් මූලික සැලසුම් සකස් කොට ඇති අතර, එය දිල්ලි නගරයේ හෝ ගුවහාටි නගරයේ පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. කොරෝනා ව්‍යසනයෙන් පසු ආසියානු පවත්වනු ලබන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය විය හැකි බවද ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ උපසභාපතිවරයෙකු වන කර්නල් හේමන්ත වීරසිංහ මහතා පැවසීය.
 
මෙම තරගාවලිය පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වුවහොත් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද කාන්තා තරග නොපැවැත්වුවහොත් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද ඊට සහභාගි කරවීමට බොක්සිං සංගමයේ නිලධාරීහු අපේක්ෂා කරති.
 
කත්මණ්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලින් පසු බොක්සිං ජාතික සංචිතයක් දැනට ක්‍රියාත්මක නොවන අතර, ආසියානු බොක්සිං ශූරතාවලිය ඉලක්ක කොටගෙන විවෘත තේරීම් තරගාවලියක් පවත්වා ජාතික පුහුණු සංචිතයක් ආරම්භ කිරීමට බොක්සිං නිලධාරීහු දැන් සිටම සැලසුම් සකස් කරමින් සිටිති. කෙසේ වෙතත් මෙම සැලසුම් ක්‍රියාත්මක වන්නේ අගෝස්තු මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණයට පසුව බවද දැනගන්නට තිබේ.
 
වසර 4 ක කාලයක් සඳහා ජාතික බොක්සිං පුහුණුකරුවෙකු අලුතින් පත් කිරීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය දැනටමත් විධිවිධාන යොදා ඇත. ගතවූ වකවානුවේ බොක්සිං ක්‍රීඩාව සඳහා ජාතික පුහුණුකරු තනතුරක් ක්‍රියාත්මක නොවූ අතර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (කත්මණ්ඩු) සඳහා පමණක් ප්‍රධාන පුහුණුකරුවෙකු පත්කර තිබුණි.
 
2020 වසරේදී විදෙස් බොක්සිං විශේෂඥ පුහුණුකරුවෙකුගේ සේවය ලබාගැනීමට බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ප්‍රමුඛ විධායක කමිටුව සැලසුම් කොට තිබිණ. එහෙත් හදිසියේ හටගත් කොරෝනා ව්‍යසනය හේතුවෙන් එම යෝජනාව 2021 වසර දක්වා කල් දැමීමට බොක්සිං නිලධාරීන් දැන් තීරණය කොට ඇත.
 
ලබන අගෝස්තු 31 දාට පෙර ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් මත සැලසුම් කර තිබේ. දැනට නිලතල දරන සියලුම නිලධාරීන් නැවත එම තනතුරු සඳහා තරග වැදීමට අපේක්ෂිතය.
 
ශ්‍රී ලංකාවේ බොක්සිං පරිපාලනය සඳහා වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීවරයකු පත්කර ගැනීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් එවැනි නිලධාරියෙකු පත්කෙරෙන ප්‍රථම අවස්ථාව ද මෙයවේ. 2020 වසරේදී බොක්සිං ක්‍රීඩාවේ සංවර්ධනය සහ දේශීය තරගාවලි පැවැත්වීම සඳහා රුපියල් මිලියන 11 ක මුදලක් බොක්සිං සභාපති ඩයන් ගෝමස් ප්‍රමුඛ විධායක කමිටුව විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

 


අදහස් (0)

බොක්සිං ජාතික සංචිතය තවමත් දුර ඈත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.