Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පළමු පෙළ පාපන්දු ශූරතාව පොලිසියට

පළමු පෙළ පාපන්දු ශූරතාව පොලිසියට

editorial - 2019 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ සුගතදාස පිටියේදී තරගාවලිය නිමාවට පත් කරමින් පැවැති අවසන් මහ තරගයේදී මාවනැල්ල සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය ගෝල 2-1කට පරාජය කරමිනි.

එම ජයග්‍රහණය වෙනුවෙන් පොලිස් කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක් ප්‍රදානය කෙරුණි. තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ සෙරන්ඩිබ් කණ්ඩායමට එහිදී හිමිවූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ තුනකි.

පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රධානතම පාපන්දු තරගාවලියක් ජය ගෙන ඇත්තේ වසර 17 කට පසුවය. දෙවැනි විනාඩියේදීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක චතුර ගුණරත්න ගෝලයක් වාර්තා කිරීම තුළින් මෙම අවසන් මහ තරගයේ ආරම්භයේදීම වාසිය තමන් අතට හරවා ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත්වූහ. එය තවදුරටත් තහවුරු කරමින් 19 වැනි විනාඩියේදී රියාස් අහමඞ් රැස්කළ ගෝලයත් සමඟ ගෝල 2-0කට පළමු භාගයේ පෙරමුණ ගනිමින් පොලිස් ක්‍රීඩකයෝ විවේක කාලය ගත කළහ.

දෙවැනි භාගයේ දෙපිල අතර පැවැති තියුණු තරගකාරිත්වය හමුවේ 54 වැනි විනාඩියේදී එසන්ට් එවන්ස් සෙරන්ඩිබ් කණ්ඩායමට ගෝලයක් ලබාදීමට සමත්විය. එසේ වුවත් 80 වැනි විනාඩියේදී කෙමන්ත බණ්ඩාරගොඩ රතුකාඞ් පත ලබා පිටියෙන් ඉවත්වීමට සිදුවීමෙන් තරගයේ අවසන් භාගයේදී සෙරන්ඩිබ් කණ්ඩායමට නැවත අවාසි තත්ත්වයක් උද්ගත විය.

මෙම අවසන් මහ තරගය ජය ගැනීමත් සමඟ තරගාවලිය පුරා තරග 12 කට මුහුණදෙමින් අපරාජිතව එය ජය ගැනීමට සමත්වූ පොලිස් කණ්ඩායම සෙරන්ඩිබ් කණ්ඩායම තරගාවලියේ පරාජයට පත් කළ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර තරගාවලියේ සුපිරි හය වටයේදී ද ගෝල 4-1කට පොලිස් කණ්ඩායම විසින් සෙරන්ඩිබ් කණ්ඩායම පරාජය කරන ලදී.

පොලිස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 2017 අගභාගයේදී සේවය භාරගත් ජාතික පුහුණුකරුවකුද වන පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ ප්‍රධානතම පාපන්දු තරගාවලියක් පොලිස් ක්‍රීඩා සමාජය ජය ගත්තේ වසර 2002න් පසුව බවයි.

මෑත භාගයේදී රාජ්‍ය සේවා පාපන්දු කුසලාන දිනා ඇති පොලිස් ක්‍රීඩා සමාජය පැවති එෆ්.ඒ. කුසලාන (2018) තරගාවලියේ තෙවැනි ස්ථානය ලබා තිබේ. අපරාජිතව මෙම තරගාවලිය අවසන් කිරීමට ලැබීම ගැන තමන් වඩාත් සතුටට පත්වන බවත් මීට පෙර ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් කීපදෙනකුම පොලිස් කණ්ඩායම භාරගෙන එය හැර යාමේ තත්ත්වයන් තුළ අද වනවිට තමා යටතේ පොලිස් කණ්ඩායම ශූරයන්ගේ තරගාවලියට ඇතුළත් වීමටද වරම් ලබා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ජයග්‍රාහි පොලිස් කණ්ඩායමට ෂාමික කුමාර නායකත්වය ලබා දුන්නේය. සෙරන්ඩිබ් කණ්ඩායම අනු ශූරතාව ලබන විට තරගාවලියේ තරග අටක් ජයගෙන තිබුණේ ඔවුන්ද එළඹෙන ශූරයන්ගේ තරගාවලියට ඇතුළත්වීමේ සුදුසුකම් ලබමිනි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, එහි ලේකම් ජස්වර් උමාර් යන මහත්වරුන් ඇතුළු එහි නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රදානෝත්සවයේදී කොළඹ ‘නිව් ස්ටාර්’ කණ්ඩායමේ මොහොමඞ් අනාස් තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි ‘රන් පාවහන්’ සම්මානයද, පොලිස් කණ්ඩායමේ මහේන්ද්‍ර දිනේෂ් අවසන් තරගයේ දක්ෂතම ගෝල රකින්නාට හිමි රන් සම්මානයද හා එම පිලේම එම්.ජේ.ආර්. මොහොමඞ් අවසන් තරගයේ හොඳම ක්‍රීඩකයාට හිමි ‘රන් පන්දු’ සම්මානයද දිනා ගැනීමට සමත් වූහ.

පොලිස් ක්‍රීඩා සමාජය අවසන් වරට වසර 2008 දී එෆ්.ඒ. කුසලාන (පිළිමළුන් පිටු දැකීමේ) තරගාවලිය ජයගෙන තිබේ.

 


අදහස් (0)

පළමු පෙළ පාපන්දු ශූරතාව පොලිසියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.