Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුහුණුව අවසන් වුණේ කොළ කැඳ කෝප්පෙන්

පුහුණුව අවසන් වුණේ කොළ කැඳ කෝප්පෙන්

editorial - 2020 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(සුසිල් ප්‍රේමලාල්)

‘‘මම මුලින්ම බයිසිකල් රේස් එකක් පැද්දේ 1966 වසරේදී. ඒ අපේ ගමේ වැලිසර ජාඇල තිබුණු ජයලත් ක්‍රීඩා සමාජයේ රේස් එකට. එතකොට මගේ වයස අවුරුදු 17යි.“

එදා මට බයිසිකලයක්වත් තිබුණෙ නැහැ. මම අයියගෙ (රිචඩ් ඇන්තනි පෙරේරා) බයිසිකලේ ඉල්ලගෙන තමයි පැද්දේ. ඒ පළමු තරගයෙන්ම මම දිනුවා. මට වඩා වයසින් වැඩි අය පරදා තමයි මම එදා දිනුවේ. එදා තමයි මම ගමේ වීරයා වුණු මුල් දවස.“

“ඊට පහුවදා මම ඉස්කෝලෙ ගියාම (ශාන්ත අන්තෝනි විදුහල) අපේ විදුහල්පතිතුමා (වින්සන්ට් පෙරේරා සහෝදරතුමා) මම ලබපු ජයග්‍රහණය දැනගෙන සියලු ගුරුවරුන් සහ සිසුන් ඉදිරියේ උදේ රැස්වීමේදී මාව අගය කරමින් කතාවක් පැවැත්වුවා. අවසානයේ මට විශාල අත්පොළසන් නාදයක් දී පිළිගත්තා. ඒ අවස්ථාව මට කිසි දිනෙක අමතක වන්නේ නැහැ. ඒ අත්පොළසන් නාදය මට අදටත් මැවි මැවී පේනවා. මම ඒ සිද්ධිය සිහි කරන්නේ ලොකු ආඩම්බරයකින්. එය මගේ පාපැදි ජීවිතයේ අලුත් ආරම්භයක් වූවා’’ යැයි ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම පාපැදි ශූරයකු වන බොනිෆස් පෙරේරා පවසයි.

දශක තුනක් පුරා (60, 70 සහ 80)  මෙරට ප්‍රධානතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ලංකා සවාරිය අවස්ථා තුනකදී එක දිගට රේසිං අංශයෙන් ජයග්‍රහණය කිරීමට බොනිෆස් පෙරේරා සමත් විය. බොනිෆස්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාපැදි ශූරයන් වන මොරිස් කුමාර්වේල්, ඇන්තනි සිමන්ස්, කිංස්ලි මෙන්ඩිස්, ඒ.එම්. සුමනවීර, පැට්‍රික් හපුආරච්චි, එන්. කරුණාරත්න සහ ජී.එච්. සහ එච්.එච්. හෙන්ඩ්‍රසන් සොහොයුරන් ඇතුළු ප්‍රවීණ පාපැදි ශූරයන් රැසකගේ සමකාලීනයෙකි.

පසුගියදා සිය අවුරුදු 72 වැනි උපන්දිනය සැමරූ බොනිෆස්ට පෙරේරා මෙරට පැවැති ප්‍රධාන පෙළේ පාපැදි තරග වන ලංකා සවාරිය (ලේක්හවුස්), දීප චාරිකා (ටයිම්ස් ඔෆ් සිලෝන්) ගාලු සවාරිය, සහ ලක් පොහොර යන ප්‍රධාන පෙළේ පාපැදි තරග 250කට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඇති අතර, ඉන් ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන දිනා ගත් වාර ගණන 200 ඉක්මවයි.

පාපැදි ලෝලීන් අතර, ‘‘වත්තල බොනී’’ යනුවෙන් නමක් දිනා සිටින බොනිෆස් පෙරේරා ‘‘ස්ප්‍රින්ට්’’ ශූරයෙකු ලෙස ද එකල ප්‍රකටව සිටියේය.

ලංකා සවාරියේ ඉතිහාසය අනුව ත්‍රිත්ව ජයග්‍රහණය ලැබූ පාපැදි ශූරයෝ තිදෙනෙක් සිටිති. ඉන් පළමුවැන්නා මොරිස් කුමාරවේල්ය. ඔහු 1964, 65 සහ 66 යන වසර තුන ස්ටෑන්ඩඩ් අංශයෙන් ජය ගත්තේය. බොනිෆස් පෙරේරා රේසිං අංශයෙන් ද (1980, 81 සහ 82) මෙරට පාපැදි ක්ෂේත්‍රයේ කඳු තරණය කිරීමේ ශූරයකු ලෙස නමක් දිසා සිටි ඒ.එම්. සුමනවීර 1983, 84 හා 86 යන වසර ත්‍රිත්ව ජයග්‍රහණ ලබා ඇත.

‘‘මම ඒ කාලෙ හැමදාම දිනකට සැතපුම් 30ක් 40ක් අතර දුරක් පුහුණුවීම් කරනවා. බිත්තර කෝපි එකක් බීලා තමයි මම දිනපතා පුහුණුවීම්වලට යන්නේ. ආපහු ඇවිත් කොළකැඳ කෝප්පයක් බීලා තමයි පුහුණුවීම් අවසන් කරන්නේ.“

“අපිට දැන් වගේ වෙනම ව්‍යායාම් ක්‍රම තිබුණේ නැහැ. ඒ වගේම දිනපතා මස්, මාළු වැනි පෝෂ්‍යදායක ආහාරත් කවුරුවත් දුන්නේ නැහැ. ගෙවල්වල උයන සාමාන්‍ය කෑම තමයි අපේ කාලේ කෑවේ, බිව්වේ“ යයි  බොනිෆස් පෙරේරා පැවසීය.


1978 වසරේ කැනඩාවේ එඩ්මන්ටන් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩකයා ලෙස බොනිෆස් පෙරේරා ඉතිහාසයට එක්විය.

‘‘මට ඒකෙදි දිනන්න බැරිවුණා. නමුත් මං තරගය අවසන් කළා’’ යැයි ඔහු පැවසීය.

මීට අමතරව එම වර්ෂයේම (1978) දිල්ලි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමට බොනිෆස් පෙරේරා ද අයත් වූ අතර, එහි සෙසු සාමාජිකයන් වූයේ ජී.එම්. හෙන්ඩ්‍ර්සන් සහ ඒ.එම්. සුමනවීරය.

“වර්තමානයේ සිටින පාපැදි පුහුණුකරුවන්ගේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ඉතාමත් ඉහළයි. අපි ප්‍රවීණ පාපැදි ශූරයින් වුණත් ඔවුන් සමග පුහුණු කටයුතු කිරීමට තරම් අපට දැනුමක් නැහැ. අපට පුළුවන් වන්නේ පුහුණු සහායකයන් ලෙස කටයුතු කිරීම සහ අපේ අත්දැකීම් බෙදාහදා ගැනීම පමණයි’’ යනුවෙන් බොනිෆස් පෙරේරා පැවසීය.

‘‘අපේ කාලෙ සිටි පාපැදි ධාවකයන් එදා දැක්වූ දක්ෂතා අනුව අදටත් පාපැදි ලෝලීන් අතර ජනප්‍රියතාවයක් හිමිවෙනවා. බොනී, සුමනෙ, කරු, මොරිස්, හෙන්ඩ්‍රසන්, කිංස්ලි ආදී නම් කියූ පමණින් ලොකු කුඩා කවුරුත් අප හඳුනනවා. නමුත් වර්තමානයේ බිහිවන ධාවකයන්ගේ නම් ගම් ක්‍රීඩාලෝලීන් අතර දීර්ඝ කාලයක් රඳා පවතින බවක් පෙනෙන්නට නැහැ. එය එතරම් සතුටුදායක තත්ත්වයක් නොවේ’’ යයි බොනිෆස් කියයි.

ඒ වගේම තමයි එදා කාන්තා පාපැදි ක්‍රීඩාවේ යෙදුණු වසන්තා කහපොළ ආරච්චි, රමෝනා කාමෙල්, ඇලෝමා ද සිල්වා, පී.එල්. රන්ජනී වැනි අය අදත් පාපැදි ලෝලීන් අතර ජනප්‍රිය චරිත. නමුත් වර්තමානයේ දක්ෂතාවලින් හෙබි පාපැදි ශූරයන් හිටියත් ඔවුන් ජනතාව අතරේ රැඳී නැහැ. එවැනි දේවලින් පැහැදිලිවන්නේ අදට වඩා එදා මෙරට පාපැදි ක්‍රීඩාව ජනප්‍රිය බවක්’’ යැයි ඔහු පැවසීය.

මේ අතර වර්තමානයේ පාපැදි පරිපාලනයේ අර්බුදකාරී තත්ත්වයන් දිනෙන් දින උග්‍ර වන හෙයින් එය පාපැදි ක්‍රීඩාවේ ඉදිරි ගමනට දැඩි බාධාවක් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (1)

පුහුණුව අවසන් වුණේ කොළ කැඳ කෝප්පෙන්
  • Ruchira Thursday, 21 May 2020 12:09 PM

    ජපානයට ගගිහින් පැන්නේ නැතිනම් අදටත් අගය කරන්න පුද්ගලයෙක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.