Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports හිටපු සභාපතිවරුන්ගේ නාමයෝජනා ඉවතට

හිටපු සභාපතිවරුන්ගේ නාමයෝජනා ඉවතට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටි අවින්ද්‍ර මිරැන්ඩෝ සහ උපාලි දසනායක යන මහත්වරුන් දෙදෙනාගේම නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

මොවුන් දෙදෙනාම යතුරුපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරුන් වන අතර මිරැන්ඩෝ මහතා 2015-2017 කාල සීමාව තුළදීද, දසනායක මහතා 2013-2015 කාල සීමාව තුළදීද එහි සභාපති ධූරය දරා තිබේ.

ඔවුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් කළ විමසුමකදී යතුරුපැදි සම්මේලනයේ ලේකම් පසිඳු පීරිස් මහතා ‘ලංකාදීප’යට කියා සිටියේ සභාපති ධූරය සඳහා නාමයෝජනා භාරගැනීම අවසන් වන විටත් අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා විදෙස්ගතව සිටි බැවින් එහිදී ඔහුගේ පාර්ශවයෙන් ඉදිරිපත්කර ඇත්තේ 2015 වසරේ පැවැති නිලවරණයේදී ඔහු ඉදිරිපත් කළ අයැදුම්පතේ පිටපතක් බවයි.

එම අයැදුම්පතේ යොදා ඇති දින වකවානු මෙවර නිලවරණය සඳහා වලංගු නොවන බැවින් මිරැන්ඩෝ මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවරගත් බවද පසිඳු පීරිස් මහතා පැවසීය.

යතුරුපැදි සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා නම් කරන ලද පුබුදු වික්‍රමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලවරණ කමිටුවට මාරියෝ ඩයස් සහ රිස්වි ෆාරුක් යන මහත්වරුද ඇතුළත්ව සිටිති.

උපාලි දසනායක මහතා ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටි අතර ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමට කාරණා 3 ක් පදනම් වූ බව පසිඳු පීරිස් මහතා කියා සිටියේය.

සභාපති ධූරයට තරග වැදීම සඳහා උපාලි දසනායක මහතා යොමු කළ ඇයැදුම්පතේද අඩුපාඩු රැසක් තිබීමද, ඔහු නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ මහ සභා රැස්වීම්වල වාර්තා යතුරුපැදි සම්මේලනය වෙත යෙමුකර නොතිබීමද, මින් පෙර උපාලි මහතා සම්මේලනයේ සභාපති ධූරය දැරූ කාල වකවානුවට අදාල ගිණුම් වාර්තාවල රුපියල් 90,000 කට වැඩි හිඟයක් පැවතීමද ඊට අදාල හේතු ලෙස පසිඳු පීරිස් මහතා සඳහන් කර සිටියේය.

මේ අතර සම්මේලනයේ භාණ්ඩාගාරික ධූරය සඳහා ඉදිරිපත්ව සිටි සෙනරත් පෙරේරා මහතාගේ නාම යෝජනාවද ප්‍රතික්ෂේප වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ ඔහුද අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා මෙන්ම පැරණි අයැදුම්පතක් ඉදිරිපත්කර තිබීමයි. ඔහුගේ අයැදුම්පතේ සඳහන් වන දින වකවානුද 2015 වසරේ පැවැති නිලවරණයට අදාල ඒවා බැවින් නිලවරණ කමිටුවට එම නාම යෝජනාවද ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇත.

යතුරුපැදි සම්මේලනයේ මහ සභා රැස්වීම සහ නිලවරණය මේ මස 12 වැනිදා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ලේකම් ධූරය සඳහා පසිඳු පීරිස් මහතාද, උප සභාපති ධූර දෙක සඳහා චාමික පිලපිටිය මහතා සහ මනෝ සිල්වා මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය.

පසිඳු පීරිස් මහතා 2015-2017 කාල සීමාවේදීද සම්මේලනයේ ලේකම් ධූරය දරා ඇති අතර චාමික පිලපිටිය මහතා එම කාල වකවානුවේදී උප සභාපති ධූරයක් දරා තිබේ. මනෝ සිල්වා මහතාද එවර උප සභාපති ධූරයක් සඳහා තේරි පත්වූ අතර පසුව ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා එය ඉමේෂ් පත්බේරිය මහතාට හිමිවිය.

කෙසේ වුවත් සභාපතිවරයෙක් සහ භාණ්ඩාගාරිකවරයෙක් නොමැතිව ලේකම්වරයාට සහ උප සභාපතිවරුන් දෙදෙනාට සම්මේලනයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකි බැවින් 12 වැනිදා පැවැත්වෙන මහ සභා රැස්වීමට පසුව ඉදිරියේදී තවත් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා සම්මේලනයට නව සභාපතිවරයකු සහ භාණ්ඩාගාරිකවරයකු පත්කර ගැනීමට කටයුතු කරන බවද පසිඳු පීරිස් මහතා කියා සිටියේය.

 


අදහස් (0)

හිටපු සභාපතිවරුන්ගේ නාමයෝජනා ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.