Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports පීටර්හැන්සල් පෙරට පනී

පීටර්හැන්සල් පෙරට පනී

ශනුක අරවින්ද - 2017 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ පැවැති ඩකාර් රැළියත් ඇතුළත්ව මේ වන විට ඩකාර් රැළි 12 ක ජයග‍්‍රාහකයා බවට පත්ව සිටින ස්ටෙපාන් පීටර්හැන්සල්, මෙවර රැළියේ තෙවැනි අදියරේ ජයග‍්‍රාහකයා වෙමින් සමස්ත තරගයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. ඔහුගේ ජර්ජෝ කණ්ඩායමේ සගයා වන සෙබස්තියන් ලොබ් තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණේ පසුවන අතර 2010 වසරේ පැවැති ඩකාර් රැළියේ ශූරතාව දිනාගත් ස්පාඤ්ඤයේ කාර්ලෝස් සයින්ස් එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

නම වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ් සමස්ත තරගයේදී පීටර්හැන්සල්ට වඩා තත්ත්පර 0.42 ක් ඉදිරියෙන් පසුවෙයි. කාර්ලෝස් සයින්ස් පීටර්හැන්සල්ට වඩා තත්ත්පර 4.18 ක් ඉදිරියෙන් සිටී.

මේ වන 51 වැනි වියේ පසුවන පීටර්හැන්සල් ආජන්ටිනාවේ සාන්ත මිගෙල් ද ටක්මන් සහ සාන්ත සැල්වදෝර් ද ජුජුයි නගර දෙක අතර පැවැති තෙවැනි අදියර පැය 4 යි මිනිත්තු 18 යි තත්ත්පර 17 කින් නිමා කරමින් සමස්ත තරගයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

පීටර්හැන්සල්ට වඩා මිනිත්තුවයි තත්ත්පර 54 ක් පසුපසින් තරගය නිමා කළ කාර්ලෝස් සයින්ස් එම අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර පීටර්හැන්සල්ට වඩා මිනිත්තු 3 යි තත්ත්පර 8 ක් පසුපසින් තරගය නිමා කළ සෙබස්තියන් ලොබ් එහි තෙවැනි ස්ථානයට පත් විය.

”පර්ජෝ කණ්ඩායමට ඒක ගොඩක් හොඳ දවසක්. අපේ ප‍්‍රබලම ප‍්‍රතිවාදීන් වන ටොයොටා කණ්ඩායමේ නැනී රෝමා, නසීර් අල් අතියා සහ ගිනීල් ඩි’විලියස් අභිබවා යමින් මෙම අදියරේදී ඉදිරියට එන්න ලැබීම ගැන සතුටු වෙනෙවා” යැයි තෙවැනි අදියරේදී ලද ජයග‍්‍රහණයෙන් අනතුරුව පීටර්හැන්සල් පැවසීය.

අටවැනියා ලෙස තෙවැනි අදියර නිමා කරන විට නැනී රෝමා, මිනිත්තු 12 යි තත්ත්පර 16 ක් පීටර්හැන්සල්ට වඩා පසුපසින් සිටි අතර 18 වැනියා ලෙස තරගය නිමා කළ ඩි’විලියස්  මිනිත්තු 36 යි තත්ත්පර 23 ක්ද, 28 වැනියා ලෙස තරගය නිමා කළ අල් අතියා පැය 2 යි මිනිත්තු 17 යි තත්ත්පර 38 ක්ද පීටර්හැන්සල්ට වඩා පසුපසින් සිටියේය.

2011 සහ 2015 වසර වලදී පැවැති ඩාකාර් රැළිවල ශූරතාව දිනාගත් නසිර් අල් අතියා, මෙවර රැුළියේ තෙවැනි අදියර අතරතුර සෙබස්තියන් ලොබ්ට වඩා තත්ත්පර 28 ක් පසුපසින් සිටියද, ඔහුගේ මෝටර් රථයේ රෝදයකට හානි වීම නිසා ඔහුට පැයයකට වැඩි කාලයක් ප‍්‍රමාද වී ධාවනයේ යෙදීමට සිදුවිය.

ටොයොටා කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන 2005 වසරේ ජයග‍්‍රාහක ගිනීල් ඩි’විලියස්ට සහ 2004 වසරේ ජයග‍්‍රාහක නැනී රෝමාටද සිය මෝටර් රථවල හටගත් තාක්ෂණික ගැටලූ නිසා ධාවනයේ යෙදීමේදී බාධා ඇති විය.

මේ වන විට සමස්ත තරගයේදී රෝමා 5 වැනි ස්ථානයේද (මිනිත්තු 13 යි තත්ත්පර 4 ක් පසුපසින්), ඩි’විලියස් 11 වැනි ස්ථානයේද (මිනිත්තු 35 යි තත්ත්පර 20 ක් පසුපසින්), අල් අතියා 25 වැනි ස්ථානයේද (පැය 2 යි මිනිත්තු 14 යි තත්ත්පර 58 ක් පසුපසින්) රැදී සිටිති.

ස්පාඥ්ඥයේ ජොවාන් බැරිඩා තෙවැනි අදියරේ යතුරුපැදි ශූරතාව දිනාගත්තේ සෙසු තරගකරුවන්ට වඩා මිනිත්තු 10 ක පමණ පරතරයක් තබාගනිමිනි. හොණ්ඩා වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරමින් තරගයට එක්ව සිටින බැරිඩාට කිලෝ මීටර් 780 කින් සමන්විත වූ තරගය නිමා කිරීම සඳහා ගතවූ කාලය පැය 4 යි මිනිත්තු 22 යි තත්ත්පර 41 කි.

තෙවැනි අදියර ජයගැනීමටත් සමග යතුරුපැදි අංශයේ පෙරමුණ ගැනීමටද බැරිඩා සමත්ව සිටින අතර මේ දක්වා යතුරුපැදි අංශයේ පෙරමුණ ගෙන සිටි  ඕස්ටේ‍්‍රලියාවේ ටොබි ප‍්‍රයිස්, බැරිඩාට වඩා මිනිත්තු 23 ක් පසුපසින් තෙවැනි අදියර නිමා කළේය.

”මම හිතනවා මම මේ අදියර හොඳට කළා කියලා. ඒ වගේම මම හුගක් වාසනාවන්ත වුණා. ඒ හුගක් අසීරු අදියරක්. එත් මට පුළුවන් වුණා අදියර පුරා මගේ අවදානය තබාගන්න. ඒ නිසා මට හුගක් සතුටුයි මේ ජයග‍්‍රහණය ගැන.” යැයි ජයග‍්‍රහණයෙන් අනතුරුව බැරිඩා පැවසීය.

 

 

-036

 


අදහස් (0)

පීටර්හැන්සල් පෙරට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.