Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports කිරුළ රැකගැනීම පසිඳුට අසීරු අභියෝගයක් වෙයි

කිරුළ රැකගැනීම පසිඳුට අසීරු අභියෝගයක් වෙයි

රොෂාන් ගුණරත්න - 2017 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ඉකුත් වසරේ (2016) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් පසිඳු පීරිස් සිය කිරුළ රැක ගැනීම සඳහා අසීරු අභියෝගයකට මුහුණ පා සිටී. ඉකුත් වසරේ පැවැති නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ පසිඳු පීරිස්ට මේ වසරේදී අභියෝග කිරීමට සූදානමින් සිටින ක්‍රීඩකයන් අතර අශාන් සිල්වා සහ උෂාන් පෙරේරා පෙරමුණේ පසුවෙති.


ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව 25 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සෙනසුරාදා (22 වැනිදා) පෙරවරු 9.00 සිට දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවැත්වේ.


පසුගිය වසරේදී දේශීය තරග වලට සහභාගි නොවෙමින් විදෙස් තරග සඳහා පමණක් සහභාගි වූ අශාන් සිල්වා, නැවතත් දේශීය තරග බිමට අවතීර්ණ වෙමින් ඉකුත් මාර්තු මාසයේ කටුකුරුන්ද ධාවන පථයේදී පැවැති ‘ලයස්න් ටොප් ස්පීඞ්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා බවට පත්විය. එම නිසා ඔහු මෙවර නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය සඳහා සිය සහභාගීත්වය තහවුරුකර තිබීම පසිඳුට මහත් හිසරදයක් වනු ඇත.


පසිඳු පීරිස් නියෝජනය කරන සියැට් කණ්ඩායමේම තවත් සාමාජිකයෙක් වන උෂාන් පෙරේරා, ඉකුත් වසරේ පැවැති නරියාකන්ද තරගාවලියට සහභාගි වූ සෙසු තරගකරුවන් අතරින් පසිඳුට වඩාත් තියුණු තරගයක් දුන් තරගකරුවා විය. එමෙන්ම ඉකුත් වසරේ පැවැති මෝටර් රථ තරගාවලි රැසක දක්ෂතම රියැදුරා බවට පත්වෙමින් එම වසරේ (2016) ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වීමටද උෂාන් පෙරේරා සමත් විය.


පසිඳු පීරිස් මේ දක්වා නරියාකන්ද තරගාවලි 3 කදී (2011, 2012 සහ 2016) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ඇති අතර අෂාන් සිල්වා තරගාවලි 2 කදී (2013 සහ 2015) එම ශූරතාවට හිමිකම් කියා ඇත. කෙසේ වුවත් තවමත් නරියාකන්ද තරගාවලියකදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට උෂාන් පෙරේරාට අවස්ථාවක් උදා වී නැත. ඒ අනුව මෙවර තරගාවලියේ මෝටර් රථ ශූරතාව සඳහා ඔවුන් තිදෙනා අතර ඉතා තියුණු තරගයක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව තිබේ.


නරියා කන්ද තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා පැවැති තරගාවලි 24 ටම සහභාගි වූ රිස්වි ෆාරුක් සහ දිනේෂ් සේනානායක මෙවර තරගාවලිය සඳහාද සහභාගි වීමට සූදානමින් සිටින අතර 10 වරක් නරියා කන්ද ධාවන පථයේදී දක්ෂතම මොටර් රථ රියැදුරා ලෙස කිරුළු දරා සිටින අරවින්ද ප්‍රේමදාසදද මෙවර තරගාවලිය සඳහා සිය සහභාගීත්වය තහවුරු කර තිබේ.  


තරගාවලියේ ප්‍රධානම ඉසව් වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 24 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 12 ක් අන්තර්ගත වන අතර ඒ සඳහා සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 250 කට අධිකය.


එහිදී මෝටර් රථ කණ්ඩායම් ශූරතාව සඳහා සියැට් සමාගම නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක්ද, මාග්නි රේසිං කණ්ඩායමද තරග වදී.
ප්‍රීමා, ඩිමාර්ක්, රේන්කෝ, එක්සයිඞ්, එඩින්බරෝ, කොකා කෝලා, සියැට්, නෝර්ත් පෝල්, වර්ත් ලංකා, හොණ්ඩා සහ එලිෆන්ට් හවුස් යන ආයතන මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.


අදහස් (0)

කිරුළ රැකගැනීම පසිඳුට අසීරු අභියෝගයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.