Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ඉෂාන් - ජාක් - ෂෙහාන් අතර තුන්කොන් සටනක්

ඉෂාන් - ජාක් - ෂෙහාන් අතර තුන්කොන් සටනක්

රොෂාන් ගුණරත්න - 2017 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ඉකුත් වසරේ (2016) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ඉෂාන් දසනායක මෙවර (2017) තරගාවලියේදී සිය අභිමානය රැක ගැනීම සඳහා අසීරු අභියෝගයකට මුහුණ පා සිටී. ඉෂාන් දසනායකට, මෙවර තරගාවලියේදී සිය ශූරතාව රැක ගැනීම සඳහා ප්‍රබල ප්‍රතිවාදීන් වන ෂෙහාන් සී. අධිකාරි සහ ජාක් ගුණවර්ධන සමග කරට කර සටනක නිරත වීමට සිදුව තිබේ.


මාර්තු මාසයේදී පැවැති විජයබා සුපර්ක්‍රොස් තරගාවලියේදී ආබාධයකට ලක්වූ ඉෂාන් දසනායක, මේ වන විට එම ආබාධ තත්ත්වයට ප්‍රතිකාර ලබා නරියාකන්ද තරගාවලියේදී ශූරතාව රැකගැනීමේ සටනක නිරත වීමට සූදානමින් සිටියි.  


ෂෙහාන් සී. අධිකාරි මෙන්ම ඉෂාන්ගේ ටී. වී. එස්. කණ්ඩායමේ සගයා වන ජාක් ගුණවර්ධනද මේ වසරේදී සහභාගි වන පළමු තරගාවලිය මෙය වන අතර විවිධ ආබාධයන්ට ගොදුරුවීම නිසා ඔවුන් දෙදෙනා ඉකුත් වසරේ අග භාගයේදී පැවැති තරගාවලි වලටද සහභාගි නොවූහ.


කෙසේ වුවත් ඉකුත් වසරේ පැවැති නරියාකන්ද තරගාවලියේදී එකිනෙකා පරයා යමින් නරඹන්නන් කුල්මත් කළ මෙම ක්‍රීඩකයෝ තිදෙනා, ඉතා තියුණු තරග රටාවකින් අනතුරුව මොටෝ ක්‍රොස් තරග දෙකේදී ලකුණු 16 බැගින් සම ලකුණු ලබාගැනීමට සමත් වූහ.

එහෙත් දෙවැනි තරගයේ ඉහළම දක්ෂතාවක් දැක්වූ ක්‍රීඩකයා ඉෂාන් වූ බැවින් තරග නීතිරීති වලට අනුව ඔහුට එවර දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ හිමිවිය.


ඉෂාන් දසනායක සහ ජාක් ගුණවර්ධන මෙවර තරගාවලියේදී ටී. වී. එස්. ආර්. ටී. ආර්. (2017) මාදිලියේ නව යතුරුපැදි භාවිතා කරමින් තරග වැදීමට සූදානමින් සිටින අතර ෂෙහාන් සී. අධිකාරි එහිදී හොණ්ඩා සී. ආර්. එෆ්. (2017) මාදිලියේ නව යතුරුපැදියක් භාවිතා කරමින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. ඒ අනුව ඉකුත් වසරේදී මෙන් මේ වසරේදීද මොවුන් තිදෙනා අතර යතුරුපැදි ශූරතාව සඳහා කරට කර තුන් කොන් සටනක් දැකගත හැකිය.


ඔවුන් තිදෙනාට අමතරව ඉකුත් මාසයේදී පැවැති විජයබා සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ සමීර ප්‍රේමරත්න මෙන්ම ඉවෝන් බී. ගුරුසිංහද යතුරුපැදි ශූරතාව ඩැහැගැනීම සඳහා මාන බලමින් සිටිති. කෙසේ වුවත් විජයබා සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර දරුණු අනතුරකට ලක්වීම නිසා අතර 6 වරක් නරියා කන්ද ධාවන පථයේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස කිරුළු දරා සිටින ගයාන් සඳරුවන්ට මෙවර තරගාවලිය අහිමිවි යනු ඇත.


යතුරුපැදි කණ්ඩායම් ශූරතාව සඳහා යුද හමුදාව සහ හොණ්ඩා සමාගම නියෝජනය කරමින් කණ්ඩායම් 2 බැගින්ද, සියැට් සමාගම සහ ටී. වී. එස්. සමාගම නියෝජනය කරමින් එක් කණ්ඩායම බැගින්ද තරග වදිති.


ප්‍රීමා, ඩිමාර්ක්, රේන්කෝ, එක්සයිඞ්, එඩින්බරෝ, කොකා කෝලා, සියැට්, නෝර්ත් පෝල්, වර්ත් ලංකා, හොණ්ඩා සහ එලිෆන්ට් හවුස් යන ආයතන මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.


ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව 25 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සෙනසුරාදා (22 වැනිදා) පෙරවරු 9.00 සිට දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවැත්වේ.

 


අදහස් (0)

ඉෂාන් - ජාක් - ෂෙහාන් අතර තුන්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.