Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය 25 වැනිදා

විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය 25 වැනිදා

ශානුක අරවින්ද - 2019 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ධාවන යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 17 වැනි වරටත් සංවිධානය කරන ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලිය මේ මස 25 වැනිදා පෙරවරු 9.00 සිට කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන තරගද සමගින් තරග ඉසව් 13 කින් මෙවර  තරගාවලිය සමන්විත වන අතර ඒ සඳහා දෙස් විදෙස් යතුරුපැදිකරුවන් 125 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ජපන් ජාතික ටොමායෝ සුසුකි, තායිලන්ත ජාතික අපුචි රුම්ජනා සහ සහරාන් පම්පොන් යන ක්‍රීඩකයන්ද ඊට ඇතුළත්ව සිටිති.

විජයබාහු රෙජිමේන්තු ධාවන පථය කිලෝ මීටර් 2.1 ක දුරකින් යුක්ත වන අතර හැරවුම් (වංගු) 13 කින් සහ පිමි 24 කින් සමන්විත වන ඉතාමත් තරගකාරී ධාවන පථයකි.

තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයාට විජයබාහු රෙජිමේන්තු අභියෝග කුසාලන පිරිනැමෙන අතර දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයාට යුද හමුදාපති අභියෝග කුසලාන පිරිනැමේ. සෙසු ජයග්‍රාහකයන් සඳහාද කුසලාන, සහතිකපත් සහ මුදල් ත්‍යාග ලබාදීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

එහිදී සෑම ඉසව්වකම පළමු ස්ථානය සඳහා රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 30,000 ක් සහ 20,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
ඉකුත් වසරේ (2018) පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායක සම්මාන සම්මාන දිනාගත් අතර එවර තරගාවලියේදී ක්‍රීඩකයක් වාර්තා කළ දිගම පිම්මට හිමිකම් කීමට බුද්ධික කසුන් සිල්වා සමත් විය.  

මෙතෙක් පැවැති තරගාවලි 16 න් හතරකදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ගයාන් සඳරුවන් සමත් වී ඇති අතර නලින් පෙරේරා, ආනන්ද වෙඩිසිංහ, ඉෂාන් දසනායක සහ ජපන් ජාතික ටොමායෝ සුසුකි අවස්ථා දෙකකදී බැගින් එහි දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගෙන තිබේ.

සමීර ප්‍රේමරත්න, ජපන් ජාතික අසුච් තනාබේ, ඉන්දීය ජාතික සී. එස්. සන්තෝෂ් සහ එච්. කේ. ප්‍රදීප් එක්වර බැගින් විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්ව තිබේ.
මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එයාර් වොයිස් වයර්ලස් සමාගම කටයුතු කරන අතර සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ මහජන බැංකුව සම අනුග්‍රහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියි.

 

 

 

වමේ සිට දකුණට - මේජර් සුමින්ද ගුණසිංහ, කර්නල් ධනංජය අලුත්දෙණිය, ප්‍රධාන අනුග්‍රාහක එයාර් වොයිස් වයර්ලස් සමාගමේ ප්‍රධාන විධායක නලින් හේරත්, විජයබාහු රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් චන්දන ගුණවර්ධන, බගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ සහ බි්‍රගේඩියර් සිසිර හේරත්

ඡායාරූපය - ප්‍රදීප් පතිරණ

 

 


අදහස් (0)

විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය 25 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.