Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෝන්ඩර්ස් - යුද හමුදා අවසන් තරගය හෙට

සෝන්ඩර්ස් - යුද හමුදා අවසන් තරගය හෙට

Nisanka Sandeepani - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්.ඒ. කුසලාන දිනා ගනිමින් සිය ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරය සැමරීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සූදානම් වෙද්දී ප්‍රතිවාදී යුද හමුදා ක්‍රීඩා සමාජයේ අභිප්‍රාය වන්නේ ඔවුන් වළක්වා ලමින් පිට පිටම තෙවැනි වතාවටත් එෆ්. ඒ. කුසලාන දිනාගනිමින් සිය අභිමානය රැක ගැනීමයි. දෙපිල අතරින් එම උත්සාහය  සාර්ථක කර ගන්නේ කවුරුන්ද යන පැනයට පිළිතුරු ලැබෙන අන්තර් සමාජ ‘වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය හෙට (1 වැනිදා) රාත්‍රි 7.00 ට කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ වේ. 


 1948 තරම් ඈතට දිවයන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය බවට පත්ව තිබෙන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ එක් පසෙකින් මෙවර අවසන් මහ තරගයට තේරී සිටින සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1918 දී ඇරඹි මෙරට පැරණිතම පාපන්දු ක්‍රීඩා සමාජයකි. ඔවුන් දෙසැම්බර් 8  වැනිදා සිය ශත සංවත්සරය සැමරීමට සූදානම්ව සිටියි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම පාපන්දු ක්‍රීඩකයකු හා පුහුණුකරුවෙකු වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර ප්‍රබලතම ක්‍රීඩකයකු වන පී.ඩී. සිරිසේන මහතා අභාවප්‍රාප්තවී දෙසැම්බර් 18 වැනිදාට වසරක් සපිරේ. සිරිසේන මහතා ක්‍රීඩකයකුව සිටියදී එෆ්.ඒ. කුසලාන තරගාවලියේ පිහිටු වූ වාර්තාවක් තවමත් නොනැසී පවතී.

1960 තරගාවලියේදී ඔහු සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් ගෝල 24 ක් රැස් කළ අතර එවර අවසන් මහ තරගයේදී ගෝල 6 ක් රැස් කිරීමත් මෙතෙක් නොබිඳී පවතින වාර්තාවකි. 

 එෆ්.ඒ. කුසලාන  තරගාවලිය හා බැඳී පවතින නාමයක් බවට පත්ව තිබෙන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ මෙවර උත්සාහය 22 වැනි වතාවටත් ශූරතාව හිමිකර ගැනීමයි. එය මෙම තරගාවලියේ ක්‍රීඩා සමාජයක් ශූරතාව දිනා ඇති වැඩිම වාර ගණනයි. 

1949 දී ප්‍රථම වතාවට එෆ්.ඒ. කුසලාන දිනාගත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අවසන් වරට 2001 දී ශූරතාව දිනා ගත්තේය. අවසන් වරට 2007 දී අවසන් මහ තරගයට සුදුසුකම් සනාථ කළත් එහිදී මීගමුව  යූත් කණ්ඩායම හමුවේ ගෝල 3-0 කින් පරාජය විය. 

පී.ඩී. සිරිසේන මහතාගේ පුත් මංජුල සිරිසේන මහතා  සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ වත්මන් ප්‍රධාන පුහුණුකරුවා වෙයි. ඔහු පවසන්නේ වසර 100 ක් පිරෙන මේ මොහොතේ සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජය ගෙවන්නේ ඉතා දුෂ්කරතා කාලයක් බවයි.

ක්‍රීඩකයන්ගේ කැපවීමත් සුබ පතන්නන්ගේ සහයෝගයත් නොවන්නට මේ වනවිට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අගාධයට  ගොස් ඇතැයිද කොළඹ ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජ රැසක් අද ලබන  පහසුකම් සෝන්ඩර්ස් ක්‍රීඩකයන්ට නොලැබෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

යුද හමුදා පාපන්දු ක්‍රීඩා සමාජයේ එෆ්.ඒ. කුසලාන අතීතයද කීර්තිමත් එකකි. ඔවුන්ගේ එම කීර්තිය 1961  තරම් ඈතට දිවයන්නේ එම වසරේදී පළමුවතාවට කුසලාන දිනා ගනිමිනි. 

එෆ්.ඒ. කුසලාන ඉතිහාසයේ මෑත භාගයේදී දස්කම් අතරට පිවිස සිටින යුද හමුදා ක්‍රීඩකයෝ 1968 න් පසුව නැවත වරක් 2011, 2013, 2015, 2016 දී කුසලාන දිනා තිබේ. 2009 දී මෙන්ම 2011දී ද ඔවුන් අවසන් මහ තරගයට පිවිසියද එම වසර දෙකේදීම හිමිකර ගත්තේ අනුශූරතාවයයි.

මෙම වසරේ ආරක්‍ෂක සේවා පාපන්දු කුසලාන දිනා ඇති යුද හමුදා ක්‍රීඩා සමාජයේ මොහොමඞ් ඉසඩීන් ඇතුළු ප්‍රබලතම ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ හය දෙනෙක් ක්‍රීඩා කරති. 

ශ්‍රී ලංකාවේ සිවිල් ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩකයන් නොලබන පහසුකම් රැසක්  යුදහමුදා ක්‍රීඩකයන්ට ලබාදීමට එහි බලධාරීන් කටයුතු කිරීම නිසා මෙරට පාපන්දු පිටියේ වඩාත් ඉහළට එසවී තිබෙන පාපන්දු ක්‍රීඩා සමාජයක් ලෙස යුද හමුදා ක්‍රීඩකයෝ සෝන්ඩර්ස් ක්‍රීඩකයන්ට මහත් අභියෝගයක් වනු ඇත. 

සෝන්ඩර්ස් සංචිතය
සජිත් ධර්මපාල, රන්ජීව පෙරේරා, ඉන්ද්‍රජීව උදාර, ඉසුරු පෙරේරා, සී. චන්ද්‍රසේකර, සමිර පෙරේරා, ජනිත් පියුමල්, සී. අබේසේකර, අසංක විරාජ්, එස්.එම්. ප්‍රියදර්ශන, චමෝද්  ඩිල්ෂාන්, ඩබ්ලිව්. ජයසූරිය, එල්.වී. රංගන, මොහොමඞ් ෆසී, නිපුන චින්තක, සජිත තිලකසිරි, චානුක එරංග, සුන්දරාජ් නිරේෂ්, විශ්ව දිනෙත් සංකල්ප, එම්. නලිම්. චමත් රස්මිත. එම්.ඒ.එම්. සබ්රින්, එම්.එස්.එම්. තුර්ෂිඞ්, ඒ.වී. රාහුල්. ගිහාන් පෙරේරා, ඩැනියෙල් රීඞ්, සී.එස්.එම්. ලියනගේ, ජේ.ඒ.පී. ගයන්ත, වශීකරන් වීරන් සහ එන්. නිලුරුක්ෂාන්

ප්‍රධාන පුහුණුකරුවෝ : සුමිත් වල්පොල සහ මංජුල සිරිසේන 
කළමනාකරු:- ඒ.එන්. ජගත්

යුද හමුදා සංචිතය
 එරංග ප්‍රියරත්න, මොහාමඞ් ඉසඩීන්, වයි.එල්. ජයතුංග, මධුෂාන් ද සිල්වා, එච්.ආර්.ඒ. තේනුවර, ජේසුරාජ් බර්නාඞ්, සංකල්ප දයාවංශ, ජේ.වී.ලක්මාල්, කීර්ති කුමාර, ඩී.එස්. කුරුකුල දිනසු, ඒ.බී. වරකාගොඩ, එස්.පී. විජේසුරිය, තාරක සඳරුවන්, අයිතුර් රාහුමාන්, නිරෝෂන් පතිරණ, රොෂන් අප්පුහාමි, සජිත් කුමාර, ආර්.එස්. රාජවසම්. සම්පත් කුමාර, මොහොමඞ් ලුතිෆි, අජිත් කුමාර, කසුන් ප්‍රදීප්, දනංජය පේරුසිංහ, ජිවන්ත ප්‍රනාන්දු, චතුරංග පෙරේරා, නවෝද්‍ය විජේසිංහ, සුභාසන ප්‍රනාන්දු, නදීෂාන් ප්‍රනාන්දු, තිරුණ සේනානායක 
පුහුණුකරුවෝ : තිලක් අල්පෝන්සු එච්.ඩබ්.එම්. ධරෂහිඞ් සහ ජී.බී.සී.ඩී. උදය කුමාර, 
කළමනාකරු:- කපිතාන් හිරාන් රත්නායක, 

සෝන්ඩර්ස් කණ්ඩායම මෙතෙක් ආගමන.
* සාග් වොන්ඩර්ස් පිලට එරෙහිව ගෝල 6-0ක ජයක්
* නාවික හමුදා පිලට එරෙහිව ගෝල 2-0ක ජයක්
* එවරෙඩි පිලට එරෙහිව ගෝල 6-2ක ජයක්
* බන්ධනාගාර පිලට එරෙහිව (පෙර අර්ධ  අවසන් වටය) ගෝල 2-1ක ජයක්
* කොළඹ පිලට එරෙහිව (අවසන් පූර්ව) ගෝල 2-0ක ජයක්

යුද හමුදා කණ්ඩායම මෙතෙක් ආ ගමන.
* ලකී ස්ටාර් පිලට එරෙහිව ගෝල 15-0ක ජයක්
* සාරික්කමුල්ල යෝක් පිලට එරෙහිව ගෝල 3-1 ක ජයක්
* නිව් ස්ටාර් පිලට එරෙහිව ගෝල 3--0ජයක් 
* ගමනාගමන පිලට එරෙහිව (පෙර අර්ධ අවසන් පුර්ව වටය) ගෝල 2-0ක ජයක්
* පොලිස් පිලට එරෙහිව (අවසන් පුර්ව) ගෝල 1-0 ජයක්

 

යුද හමුදා තණ්ඩායම

සෝන්ඩර්ස් කණ්ඩායම

 


අදහස් (0)

සෝන්ඩර්ස් - යුද හමුදා අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.