Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ලීග් පාපන්දු තරගාවලියට පෙර සූදානම 17 වැනිදා සිට

සුපර් ලීග් පාපන්දු තරගාවලියට පෙර සූදානම 17 වැනිදා සිට

නාමල් පතිරගේ - 2021 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සූම්’ තාක්ෂණය යොදා ගනිමින් ඊයේ (20) පැවැති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයක් අනුව ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය පෙර සූදානම් තරග වටයකින් ලබන පෙබරවාරි 17 වැනිදා සිට කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට තීරණය වී තිබේ. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  සභාපති අනුර ද සිල්වා, එහි ලේකම් හා තරගාවලියේ සම්බන්ධීකාරක ජස්වර් උමාර්, ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්වරු ඇතුළු තරගවදින ක්‍රීඩා සමාජයන්හි ප්‍රධානීහු ඊයේ පැවැති සාකච්ඡාවට එක්ව සිටියහ.

ඒ අනුව තරග 20කින් සමන්විත පෙර සූදානම් (පුහුණු) තරග වටය ලබන පෙබරවාරි 17 වැනිදා ආරම්භ වීමෙන් පසුව එය ලබන මාර්තු මාසය අවසන් භාගය තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහෙත් මෙම තරගවල ප්‍රතිඵල ප්‍රසාද ලකුණු සටහනට ඇතුළත් නොවේ. ප්‍රසාද ලකුණු සටහන ක්‍රියාත්මක වන නිල තරග වටය ආරම්භ වන්නේ ලබන අප්‍රේල් 18 වැනිදාය.

එහිදී තරග පැවැත්වෙන සෑම දිනයකම උදෑසන එදින තරග වදින කණ්ඩායම්වල ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් කෙරේ. එහිදී ආසාදිත ක්‍රීඩකයකු හමු වුවහොත් ඔහු නියෝජනය කරන කණ්ඩායම් තරගයෙන් ඉවත්කර එහි සියලු ක්‍රීඩකයන් හා නිලධාරීන් නිරෝධායනයට ලක්කෙරෙනු ඇත. පෙර සූදානම් තරග වටය අවසන්වීමෙන් පසුව නිල තරග වටය ආරම්භයට සති කීපයක විරාමයක් ලැබෙන්නේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන (2022- කටාර්)  පූර්ව සුදුසුකම් තරග වටයේ ඉතිරි තවත් තරග දෙකකට සහභාගිවීමට නියමිතව තිබෙන බැවිනි.

ලබන මාර්තු 25 වැනිදා උතුරු කොරියාවට  එරෙහිව එරටදී ද, මාර්තු 30 වැනිදා දකුණු  කොරියාවට එරෙහිව කොළඹදී ද එම තරග දෙක පැවැත්වේ.

පෙර සූදානම් තරග වටයට සහභාගි වන සියලු කාණ්ඩායම් සඳහා පළමුව පන්දු 25ක් බැගින් හා රුපියල් මිලියනයක් බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.  වසර 2019 පැවති ශූරයන්ගේ තරගාවලියේ ක්‍රීඩා කළ කණ්ඩායම් 10ක් පළමු ලංකා සුපර් ලීග් තරගාවලියට තෝරාගෙන තිබේ. ලෝක පාපන්දු සමුළුවේ තරගාවලිය සඳහාම ලබාදුන් විශේෂ අරමුදලකින් එහි මූලික වියදම් පියවා ගැනේ.

ඊයේ පැවැති සාකච්ඡාවේදී අදහස් දක්වා තිබෙන ක්‍රීඩා  ඇමැති නාමල් රාජපක්ෂ මහතා නව තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලියක අඩුව පියවෙන බවත් මේ ආකාරයෙන්ම දිස්ත්‍රික් ලීග්  පාපන්දු තරගාවලියක් ආරම්භ කිරීමටත් තමන් පාපන්දු සම්මේලනයට ආරාධනා කර සිටින බවත් පවසා තිබේ.

 


අදහස් (0)

සුපර් ලීග් පාපන්දු තරගාවලියට පෙර සූදානම 17 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.