Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිසිර කුමාර කරාටේ සම්මේලනයේ මුල් පුටුවට

සිසිර කුමාර කරාටේ සම්මේලනයේ මුල් පුටුවට

නාමල් පතිරගේ - 2020 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහ සභාවේ රැස්ව සිටි 265 දෙනාගේම මනාපය ලබා ගත් එච්.එම්. සිසිර කුමාර මහතා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ සභාපති ධුරයට යළිත් තේරී පත් විය. එම සම්මේලනයේ 2020-22 නිලවරණය පසුගිය සෙනසුරාදා (31) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.  එහිදී සිසිර කුමාර මහතා මෙම වාර්තාගත ජයග්‍රහණය ලබා ගත්තේ සභාපති ධුරයට තවත් අපේක්ෂකයන් 9 දෙනෙකු ඉදිරිපත්ව සිටියදීය.

කරාටේ දෝ සම්මේලනයේ නිලවරණය වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගත්තේ නිලවරණ කමිටුව පක්ෂග්‍රාහී යයි චෝදනා කරමින් අපේක්ෂකයන් 11 දෙනෙකු විසින් විරෝධතා ගොනුකර සිටීමෙනි.  එම විරෝධතා ඉවත දැමීමෙන් පසුව ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට අභියාචනයක් ගොනු කරමින් නිලවරණය කල් දමන ලෙස කළ ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප විය.

විරෝධතා ගොනු කළ පාර්ශ්වයන් පසුව මාධ්‍ය හමුවක්ද කැඳවමින් කියා සිටියේ කරාටේ දෝ සම්මේලනයේ නිලවරණය 2020-22 කැඳවීම ක්‍රීඩා පනතට පටහැනි බවයි.  මෙම ප්‍රශ්නය කෙතරම් දුරදිග ගියේද යත් ඔවුන්ගේ විරෝධතා නැවත විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා විසින් විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ආර්. කුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ද පත් කෙරුණි. එහි සෙසු සාමාජිකයා වූයේ විශ්‍රාමික මේජර් ජනරාල් ආර්.එම්.පී. බණ්ඩාර මහතායි.

නිලවරණය මෙහෙය වූ කමිටුවේ සභාපති ධුරය දැරුවේ මෙවර ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කමිටු ගණනාවකම ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාය. විශ්‍රාමලත් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ පද්මා බැද්දවෙල හා විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.පී.එන්. චන්ද්‍රසේකර යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

කරාටේ දෝ සම්මේලනයේ නිලවරණයට තරග වැදීමට නිලධාරීන් මෙවර කෙතරම් උනන්දුවී සිටියේද යත් එහි විධායක සභාවේ ආසන 9 ක් නාමයෝජනා 48ක් ඉදිරිපත් වී තිබුණි. කෙසේ වුවත් ඉන් කීපයක්ම නිලවරණය කැඳවන අවස්ථාවේදී ඉවත් කර ගැනීම සිදුවිය.  මෙවර නිලවරණයට විරෝධතා ඉදිරිපත් කළ පාර්ශ්ව ඡන්ද විමසුම වර්ජනය කර සිටීමද කැපී පෙනුණි.  

යළිත් ලේකම් ධුරයට පත්වූ කීර්ති කුමාර බස්නායක හා භාණ්ඩාගාරික ධුරයට පත්වූ රෝහණ …ෂිරිස්මන්යන මහත්වරු එක් ඡන්දයක් හැරෙන්නට මහ සභාවේ සෙසු සියලුම ඡන්ද ලබා (264 බැගින්) එම ධුරවලට පත්වීම තවත් කැපී පෙණුනු සිදුවීමකි. එම එක් ඡන්දයද පාවිච්චි නොකළ ඡන්දයකි.

කරාටේ දෝ සම්මේලනයේ නිලවරණයේදී උද්ගත වූ තත්ත්වයන් පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් විෂය බාර නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා පැවසුවේ ඡන්ද විමසුම සාධාරණව සිදු කෙරුණු බැවින් කරාටේ නව විධායක සභාවේ පත්වීම්හි නීත්‍යානුකූලභාවය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිගන්නා බවයි.

කරාටේ දෝ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ ගණන 382 කි. ඉන් නිලවරණ ඡන්ද විමසුම සඳහා ක්‍රීඩා සමාජ 347ක් ලියාපදිචි වී සිටියේය.

කරාටේ දෝ සම්මේලනය ලේකම් කීර්ති කුමාර බස්නායක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් අතරින් පිරිසිදු ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් කරාටේ දෝ සම්මේලනය හොඳම ජාතික ක්‍රීඩා සංගම් පහ අතරට තේරී සිටින බවත් මේ වනවිට එහි ස්ථාවර තැන්පතුව පමණක් රුපියල් මිලියන 8කට ආසන්න අගයක් ගන්නා බවයි. නිලවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ගණනක් ලබා ගැනීමට සමත් වූයේ උපසභාපති ධුරයට තරග වැදුණු ඒරියන්ත ගුණසේකර මහතා විසිනි.


ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනයේ (2020-22) නව නිලධාරි මණ්ඩලය

● සභාපති:- එම්.එම්. සිසිර කුමාර මහතා (ජපන් කරාටේ දෝ වදෝ - ඡන්ද 265)
● ලේකම්:- කීර්ති කුමාර බස්නායක මහතා (වදෝ රියු ධකු ෂෝටෝකාතාන් - 264)
● භාණ්ඩාගාරික:- රෝහණ ෂිරිස්මන් මහතා (නිපොන් කරාටේ දෝ - 264)
● උපසභාපති ධුර (3):- ඩබ්.එන්.ඩී. සොයිසා (යුනිවර්ෂල් ෂොටෝකාන් එක්සත් - 244), ඩී.එම්.ඩී. නිමල් (ජාත්‍යන්තර ෂෙෂින්රියු - 229), එස්. මහින්ද සුවාරිස් (ෂැන්සි ෂොටෝකාන් - 182) යන මහත්වරු)
● උප ලේකම්:- (ධුර 2) ඉසෙඩ් ඒ රවුෆ් (ලෝක කරාටේ ගොජුරියු - 198) හා ජගත් ප්‍රියදර්ශන (ෂොටෝකාන් කරාටේ දෝ - 198) හා ජගත් ප්‍රියදර්ශන (ෂොටෝකාන් කරාටේ දෝ - 188) යන මහත්වරු
● උප භාණ්ඩාගාරික:- වර්ජින් ප්‍රනාන්දු මහතා (ජාත්‍යන්තර ඔක්ෆෝවා ෂොරින් රියෝ - 172)


අදහස් (0)

සිසිර කුමාර කරාටේ සම්මේලනයේ මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.