Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෑහීමකට පත්විය හැකි ලංසුවක් ඉදිරිපත් වී නෑ

සෑහීමකට පත්විය හැකි ලංසුවක් ඉදිරිපත් වී නෑ

යොහාන් භාසුර - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක්‍රිකට් තරගවල රූපවාහිනී විකාශන අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෑහීමකට පත්විය හැකි ලංසුවක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසරේ සිට 2023 වසරේ මාර්තු මස දක්වා කාලය සඳහා රූපවාහිනී විකාශන අයිතිය අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවූ අතර ඒ සඳහා ‘සෝනි’ සමාගම පමණක් ප්‍රතිචාර දක්වා ඇති බව දැනගන්නට තිබේ.

රූපවාහිනී විකාශන අයිතිය යන්නට ගුවන්විදුලි සහ ඩිජිටල් ප්‍රචාරණ අයිතිය ද ඇතුළත් වේ. ‘සෝනි’ සමාගම පසුගිය වසර 10 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය ලබාගත් සමාගම ද වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශාලතම ආදායම් මාර්ගය වන්නේ රූපවාහිනී විකාශන අයිතියයි. එම මුදල ඩොලර් මිලියන ගණනක් වූවද මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වූ මුදලින් අඩකටවත් සරිලන ලංසුවක් ඉදිරිපත් වී නැති බවත් වැඩි දුරටත් වාර්තා වේ. ‘කොවිඞ් 19’ වයිරස් අවදානම හේතුවෙන් ඇතිවූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ටෙන්ඩර් කාලය දීර්ඝ කළ අතර එය පසුගිය සිකුරාදා (10 වැනිදා) අවසන් විය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසර මුල ටෙන්ඩර් ඉදිරිපත් කරන විට රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන අයිතිය සඳහා පමණක් ඩොලර් මිලියන 16 ක් හෙවත් රුපියල් කෝටි 300 කට අධික මුදලක් ද, ඩිජිටල් ප්‍රචාරණ අයිතිය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 6 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් පමණ බලාපොරොත්තු වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ පසුව ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදී විකාශන අයිතීන් තුනම එකට ඉදිරිපත් කළ බවයි. ‘කොවිඞ් 19’ වයිරස් අවදානම හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරගාවලි අවිනිශ්චිත තත්ත්වයක පැවතීමත් ලෝක ආර්ථිකය මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වය මෙවර අඩු ඉල්ලුමක් ලැබීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේදී දැවැන්ත මුදලක් ලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මෙම වසර මුලදී විවිධ කථා පැතිර ගිය අතර හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීහූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් උපදෙස් ලබාගැනීමට ද කටයුතු කළහ.

මෙම ටෙන්ඩර් ඉදිරිපත් කරන විට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු, ඉන්දීය සහ බංග්ලාදේශ යන තරග සංචාර තුනක් මේ වන විට කල්දමා තිබේ.

ආදායම් තත්ත්වය පහළ බසිමින් තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාස තුනක පමණ කාලය තුළ ‘කොවිඞ් 19’ වයිරස් අවදානම වෙනුවෙන් රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් වැය කර තිබේ.  

ක්‍රීඩා සමාජ 55 කට ලක්‍ෂ 550 ක්, රජයේ ‘කොරෝනා’ අරමුලට රුපියල් ලක්‍ෂ 250 ක්, ක්‍රීඩා අමාත්‍යංශයට සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීමට ලක්‍ෂ 150 ක්, දිස්ක්‍රික් සහ ක්‍රීඩා සමාජවලට ලක්‍ෂ 60 ක් සහ පාසල් පුහුණුකරුවන්ට සහන සැළසීමට ලක්‍ෂ 45 ක් ලෙස රුපියල් ලක්‍ෂ 1055 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනය වැයකර තිබේ.  


අදහස් (0)

සෑහීමකට පත්විය හැකි ලංසුවක් ඉදිරිපත් වී නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.