Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාමාජික ගාස්තු සභාපතිගේ සාක්කුවෙන්

සාමාජික ගාස්තු සභාපතිගේ සාක්කුවෙන්

නාමල් පතිරගේ - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකක් තිස්සේ නොගෙවා ඇති ලෝක මල්ලවපොර සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජික ගාස්තු පෞද්ගලික මුදලින් ගෙවා දැමීමට එහි වත්මන් සභාපතිවරයා තීරණය කර තිබේ. ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ගිණුම් මේ වනවිට හිස්ව පැවැතීමය.

ලෝක මල්ලවපොර සම්මේලනයේ 2020 හා 2021 යන වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සාමාජික ගාස්තු ලෙස රුපියල් මිලියනයකට ආසන්න මුදලක් ගෙවිය යුතුය. මාර්තු මාසය අවසානයට පෙර හිඟ ගාස්තු ගෙවා දමන ලෙසත් මේ වනවිට ලෝක සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවැසුවේ ලෝක සමුළුවට පමණක් නොව ආසියානු මල්ලවපොර සම්මේලනය හා දකුණු ආසියානු මල්ලවපොර සම්මේලනය සඳහාද වන පසුගිය දෙවසරක සාමාජික ගාස්තු ගෙවීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය අපොහොසත්ව සිටින බවයි.

“දේශීය මල්ලවපොර ක්‍රීඩාවට ඇල්මක් ඇතිඅයද සහය කරගෙන පසුගිය 2020 වසරට නියමිත සාමාජික ගාස්තුව ලෝක සම්මේලනයට ගෙවීමට අප කටයුතු කරනවා. 2021 සඳහා සහන කාලයක් ඉල්ලා සිටිමටත් මා බලාපොරොත්තු වෙනවා“ යයි නොබෝදා පැවැති නිලවරණයෙන් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති ධුරයට පත් සරත් හේවාවිතාරණ මහතා පැවැසීය.

ලෝක මල්ලවපොර සම්මේලනයට සාමාජික ගාස්තු ගෙවා අලුත් කිරීමට අපොහොසත්වන සාමාජික රටවලට එහි ප්‍රතිලාභ අහිමි වන බව ඔහු පවසයි. එහිදී ලෝක සමුළුව සංවිධානය කරන ජාත්‍යන්තර තරගාවලි හා වැඩසටහන් සඳහා සහභාගිවීමේ අවස්ථාවද එම රටවලට අහිමිවේ.

ශ්‍රී ලංකාව දැන් මුහුණ පා සිටින්නේ එම ප්‍රශ්නයටම බවත් එය ඉදිරියේ ශ්‍රී ලංකාව සහභාගිවීමට සූදානම්ව සිටින ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් තරගාවලි කෙරෙහිද බලපෑම් එල්ල විය හැකි සිදුවීමක් බවත් ශ්‍රී ලංකාවේ මල්ලවපොර සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව ලබන අප්‍රේල් 13-14-15 යන දිනවල කසකස්තානයේදී පැවැත්වෙන ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලිය හා ලබන මැයි මාසයේදී බල්ගේරියාවේදී පැවැත්වෙන ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය සඳහා සහභාගිවීමට අපේක්ෂාවෙන් පසුවේ. ඒ ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. ආසියානු ශූරතා තරගාවලියට සමගාමීව කසකස්තානයේදී පැවැත්වෙන ආසියානු සමුළු මහ සැසිවාරය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් අජන්ත රත්නායක මහතාද සහභාගිවීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ආදායම් වැසී ගොස් තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවෙන් සම්මේලනයට වාර්ෂිකව රුපියල් ලක්ෂ දෙකක් ලැබෙන අතර එය සම්මේලනයේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික මුදල් ගෙවීම සඳහා වැය කරන බව හේවාවිතාරණ මහතා වැඩිදුරටත් පැවැසීය.

වසර 2019 දී පැවැති සාග් ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනාගත් ක්‍රීඩා ඉසව් 12 අතරට මල්ලවපොර ක්‍රීඩාවද ඇතුළත් විය. එහිදී ශ්‍රී ලංකාව මල්ලවපොර ක්‍රීඩාවෙන් රන් පදක්කම් දෙකක් දිනාගත්තේය.  කෙසේ වුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙළ සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් නොලත් නාමලේඛනය (යෙලෝ කාඩ්) යටතේ අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකුට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ. ඒ සඳහා ඉදිරියෙන්ම නිර්දේශ ලබා සිටින්නේ චාමර මිලින්ද පෙරේරා හා එච්. එම්. වීරබාහු යන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවයි.


අදහස් (0)

සාමාජික ගාස්තු සභාපතිගේ සාක්කුවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.