Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොෂ් ජාතික කනිෂ්ඨ තරගාවලිය පැවැත්වීමේ සාකච්ඡා ඇරඹෙයි

ස්කොෂ් ජාතික කනිෂ්ඨ තරගාවලිය පැවැත්වීමේ සාකච්ඡා ඇරඹෙයි

ශානුක අරවින්ද - 2020 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරොනා වසංගතයෙන් පසුව ස්කොෂ් ක්‍රීඩාව යළිත් ආරම්භ කිරීමේ සැලසුමේ ප්‍රධාන අංගයක් වන ජාතික කනිෂ්ඨ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන අනුග්‍රාහකයා වන රිට්ස්බරි සමාගම සමග ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය මේ දිනවල සාකච්ඡා කරමින් සිටියි.

ජාතික කනිෂ්ඨ තරගාවලිය පවත්වන ස්ථානය, දිනය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව එම තරගාවලිය සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවාගන්නා ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ස්කොෂ් සමාගමේ උප සභාපති එරන්ද ගීගනගේ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

“ජාතික කනිෂ්ඨ තරගාවලියට සහ ජාතික තරගාවලියට කළින් අපි අගෝස්තු මාසය තුළදී තවත් ජාතික මට්ටමේ තරගාවලියක් පවත්වන්න බලාපොරෝත්තු වෙනවා. එය ජාතික තරගාවලි දෙක සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ පෙරහුරුවක් වේවි.” යැයි හෙතෙම පැවසීය.
“බොහෝ දුරට අපිට ජාතික කනිෂ්ඨ තරගාවලිය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදීත්, ජාතික තරගාවලිය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට හැකි වේවි. ඒ සම්බන්ධ ඉතා වැදගත් තීරණ රැසක් ඉදිරියේදි ගැනීමට නියමිතයි.” යැයි ගීගනගේ මහතා කියා සිටියේය.  

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව සියලුම ක්‍රීඩා ඉසව් තාවකාලිකව නතර කිරීම නිසා මේ වසරේදී (2020) ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම සහභාගි වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරගාවලි 3 ක් දින නියමයකින් තොරව කල් ගිය බවද ගීගනගේ මහතා සඳහන් කළේය.

“අපි පසුගිය මාස තුනක කාල සීමාව තුළ ජාතන්තර තරගාවලි 3 කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට සූදානමින් හිටියා. ඒත් කොරොනා වසංගතය නිසා ඒ තරගාවලි 3 ම කල්ගියා. නැවත එම තරගාවලි පැවැත්වෙන දිනයන් දැනගැනීමට ලැබුණ සැනින් අපි ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන පුහුණු වීම් ආරම්භ කරනවා.” යැයි ඒ මහතා කියා සිටියේය.

“කොහොමත් අපි තවත් සති දෙකකට පමණ පසුව පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් කරලයි තිබුණේ. නමුත් සාමාන්‍ය පුහුණුවීම් සහ තරගාවලියක් ඉලක්ක කරගෙන කරන පුහුණුවීම් අතර සැලකිය යුතු වෙනසක් තියනවා” යැයි ගීගනගේ මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

ස්කොෂ් ජාතික කනිෂ්ඨ තරගාවලිය පැවැත්වීමේ සාකච්ඡා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.