Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපති කුසලාන තරගාවලිය කල්යයි

සභාපති කුසලාන තරගාවලිය කල්යයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘‘කොවිඩ්’’ දෙවැනි රැල්ලක බිය රට තුළ පැතිරයාමත් සමග කල් දමනු ලැබූ අන්තර් සමාජ සභාපති කුසලාන පාපන්දු තරගාවලිය අගෝස්තු 9 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දැන් තීරණය කර තිබේ.

මෙම තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මේ මස  26 වැනිදාය. එහෙත් තරග කාලසටහන එළිදැක්වීමට සූදානම්වෙමින් තිබියදී එය කල් දැමීමට පාපන්දු සම්මේලනය පියවර ගත්තේ කොවිඩ් දෙවැනි රැල්ලක බිය රට තුළ ඇතිවෙමින් තිබෙන බැවිනි.

ජාතික පාපන්දු සංචිතයට දක්‍ෂතා හෙබි ක්‍රීඩකයන් හඳුනාගැනීම සඳහාම සූදානම් කළ මෙම තරගාවලියට ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 18 ක් ඇතුළුව දිවයිනේ ප්‍රබලතම කණ්ඩායම් 24 ක් ආරාධනා ලබා තිබේ. අර්ධ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලියක් ලෙස සංවිධානය කෙරෙන ඒ සඳහා පාපන්දු සම්මේලනය රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැයකරයි.

තරගාවලිය ජූලි 26 වැනිදා ආරම්භ කර අගෝස්තු 20 වැනිදා  අවසන් මහ තරගය පැවැත්වීමට පාපන්දු සම්මේලනය කලින් කටයුතු යොදා තිබුණි. ඒ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී හා කොළඹ සුගතදාස පිටියේදීය.

මේ අතර කෝට්ටේ, බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ ස්ථාපිත ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් අදියර – 2 ඊයේ (17) යළිත් ආරම්භ කෙරිණ. එහි නේවාසික පුහුණුවීම් - පළමු අදියර පසුගිය ජුනි 23 වැනිදා ආරම්භවීමෙන් පසුව දින කීපයක නිවාඩුවක් ලැබූ ක්‍රීඩකයෝ ඊයේ යළිත් සංචිතයට වාර්තා කළහ.  තවත් පී.සී.ආර්. පරීක්‍ෂාවකින් පසුව ඔවුන් නේවාසික සංචිතයට ඇතුළත් කරගැනීමට පාපන්දු සම්මේලනය තීරණය  කර තිබේ.

මේවනවිට ජාතික පාපන්දු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් ගණන 19 කි. දැල් රකින ක්‍රීඩකයෙකු අළුතින් සංචිතයට ඇතුළත් කිරීමටද කටයුතු කර තිබේ. ඒ අනුව ජාතික සංචිතයේ සිටින දැල් රකින්නන්ගේ ගණන තුනකි.


අදහස් (0)

සභාපති කුසලාන තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.