Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සත් සාමාජික රග්බි කණ්ඩායම පළමු 3 අතරට ගේනවා

සත් සාමාජික රග්බි කණ්ඩායම පළමු 3 අතරට ගේනවා

යොහාන් භාසුර - 2020 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ඉදිරි වසර දෙක තුළ ආසියාවේ පළමු කණ්ඩායම් තුන අතර ස්ථාවර කිරීම තම ඉලක්කය බව ශ්‍රී ලංකා රග්බි සභාපති ධූරයට නිතරගයෙන් පත්වීමට නියමිත රිස්වි ඉල්ලියාස් මහතා පවසයි.  ශ්‍රී ලංකා රග්බි නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම පෙරේදා (20) අවසන් වූ අතර එහිදී වර්තමාන උප සභාපති රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායමක් පමණක් නාමයෝජනා ඉදිරිපත් කළේය.   

නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව පෙරේදා පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඉල්ලියාස් මහතා පැවසුවේ ඉදිරි වසර දෙකක රග්බි මුල් පුටුවේ අභියෝගයට මුහුණ දීමට තමන්ට දැඩි ආත්මවිශ්වාසයක් ඇති බවයි.

“අපට ක්‍රීඩාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යක් ඉටු කිරීමට තියෙනවා. මෙම වසර දෙක තුළදී මගේ ප්‍රධාන ඉලක්කය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ආසියාවේ පළමු කණ්ඩායම් තුළ ස්ථිර කරමින් ආසියානු පදකක්මක් දිනාගැනීමට හැකි තත්ත්වයකට ගෙන ඒමයි”

“ඒ සඳහා හොඳ මූල්‍ය ශක්තියක් ඇතිකරගත යුතුයි. අනුග්‍රහකයන්ගේ ද සහය ලබාගනිමින් රුපියල් මිලියන 100 ක මුල්‍ය වත්කම් ඇති කරගනිමින් ඉලක්කයට යෑම මගේ බලාපොරොත්තුවයි” යැයි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වර්තමාන සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ ඉල්ලියාස් මහතා සහ තමන් අතර පැවැති එකඟතාවට අනුව තමන් සභාපති ධූරයට නැවත ඉදිරිපත් නොවූ බවයි.

“සභාපති ධූරයට වඩා මම ක්‍රීඩාවට ආදරය කරනවා. ඒ නිසා ඉල්ලියාස් මහතා සහ මා අතර පැවැති එකඟතාවට අනුව මම දෙවැනි ධූරකාලයකට යෑමේ අදහස අතහැර දැම්මා. මා තනතුරුවල නොමැති වුවත් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කරනවා” යැයි ලසිත ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි 2020 වාර්ෂික මහ සභාව සහ නිලවරණය ලබන අගෝස්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම නිතරගයෙන් ඉදිරි වසර දෙක සඳහා පත්වීමට නියමිතය. මෙවර ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුවට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් වන සමන්තා නානායක්කාර මහත්මිය පත්වීම කැපී පෙනේ. සමන්තා මහත්මිය වසරක පමණ කාලයක් බස්නාහිර පළාත් රග්බි සංගමයේ කටයුතු කර අත්දැකීම් ඇති නිලධාරිනියකි.    


ශ්‍රී ලංකා රග්බි නව නිලධාරී මණ්ඩලය:
සභාපති - රිස්වි ඉල්ලියාස් මහතා, උප සභාපති - නසීම් මොහොමඞ් මහතා, නියෝජ්‍ය සභාපති - රියාද් අද්මිරාල් එච්. ඒ. යූ. ඩී. හෙට්ටිආරච්චි මහතා, ලේකම් - ජූඞ් පිල්ලේ මහතා, භාණ්ඩාගාරික - දිනේෂ් පෙරේරා මහතා

කමිටු සාමාජිකයෝ: ෆාෂීල් මොහොමඞ්, රොෂාන් ඩීන්, ජීවන් ගුණතිලක, ප්‍රදීප් බස්නායක, පවිත්‍ර ප්‍රනාන්දු, නිරන්ජන් අබේවර්ධන, බන්දුල මල්ලිකාරච්චි යන මහත්වරු සහ ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මිය.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

 


අදහස් (0)

සත් සාමාජික රග්බි කණ්ඩායම පළමු 3 අතරට ගේනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.