Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරතාව වෑවලවැව මහ විදුහලට

ශූරතාව වෑවලවැව මහ විදුහලට

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා වයස අවුරුදු 16 න් පහළ බේස්බෝල් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් තමන් සතුකර ගැනීමට දඹුල්ල, වෑවලවැව මහා විද්‍යාලය සමත් විය. පදවිය අලිවංගුව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ද්විත්ව ඉවතලෑමේ ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 13-02 ක ජයක් අත්කර ගනිමින් වෑවලවැව මහා විද්‍යාලය එම ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් මහ තරගය ඉනිම් හතරකින් සමන්විත වූ අතර කාසියේ වාසිය හිමිකරගත් වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට පිරිනැමීය.

පලමු ඉනිම අවසන් වන විට වෑවලවැව මහා විද්‍යාලය ලකුණු 4 ක් ලබාගත් අතර එහිදී එක් ලකුණක් හෝ ලබාගැනීමට ඩී.එස්. සේනානායක විදුහල අපොහොසත් විය. දෙවැනි ඉනිම තුළදී තරගයට අවතීර්ණ වූ ඩී.එස්. සේනානායක විදුහල, එහිදී ලකුණු 2 ක් ලබාගනිමින් වෑවලවැව මහා විද්‍යාලය එක් ලකුණකට සීමා කළේය.

තෙවැනි ඉනිමේදී ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොදුන් වෑවලවැව මහා විද්‍යාලය එහිදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 2 ක් එක් කරගත්තේය. සිවුවැනි ඉනිමේදීද වෑවලවැව මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා විලාශය හමුවේ ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොලැබිණ.

සිවුවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 6ත් සමගින් ඉනිම 4 අවසන් වන විට ලකුණු 13-02 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට වෑවලවැව මහා විද්‍යාලය සමත් විය. වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමේ අවිශ්ක බණ්ඩාර තරගාවලියේ අගනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ මූලික වටයේ තරගවලදී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 07-05 ක ජයක්ද, ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 21-03 ක ජයක්ද වාර්තා කළ වෑවලවැව මහා විද්‍යාලය, අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකණු 19-02 කින් කොළඹ නාලන්දා විද්‍යාලයද, අවසන් පූර්ව තරගයේදී ලකුණු 27-08 කින් ගන්නෝරුව රණබිම රාජකීය විදුහලද පරාජය කළේය.


තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයෝ

තරගාවලියේ අගනාම ක්‍රීඩකයා - අවිශ්ක බණ්ඩාර (වෑවලවැව මහා විද්‍යාලය)
දක්ෂතම පිතිකරුවා - තරිඳු කාවින්ද (වෑවලවැව මහා විද්‍යාලය)
දක්ෂතම පන්දු යොමුකරන්නා - ශාලුක මධුමාල් (වෑවලවැව මහා විද්‍යාලය)
දක්ෂතම පන්දු යොමුව රකින්නා - බිසඳ වින්දිව් (ඩී.එස්. සේනානායක විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා - අමිඳු මිහිරාන් (ඩී.එස්. සේනානායක විද්‍යාලය)

 


අදහස් (0)

ශූරතාව වෑවලවැව මහ විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.