Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ආසියානු ගෘහස්ථ ක්‍රීඩා පදක්කම් 4ක්

ශ්‍රී ලංකාවට ආසියානු ගෘහස්ථ ක්‍රීඩා පදක්කම් 4ක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ක්මෙකිස්ථානයේ “ඇස්ගාබට්” නගරයේදී දැන් පැවැත්වෙන ආසියානු ගෘහස්ථ උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අද  (21) වන විට සමත්ව තිබුණි.

එහිදී ශ්‍රී ලංකාවේ මීටර 800 ජාතික ශූරිය හා ආසියානු ශූරිය වන හසන්තිකා අබේරත්න එම ඉසව්වෙන් විනාඩි 2 තත්පර 05.12කට රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

මෙවර ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී මෙතෙක් දිනාගත් පදක්කම් අතර කැපී පෙනෙන්නේ දුර පැනීම (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගැනීමය. එය ආසියානු (ජ්‍යෙෂ්ඨ) තරගාවලියකදී ශ්‍රී ලංකාව තිරස් පැනීම් ඉසව්වකදී දිනාගත් පළමු පදක්කම වීම කැපී පෙනේ.

අමිල විජයලත් මීටර 7.45කට දුර පැනීම (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූ අතර ආසියානු ශූරතා උස පැනීමේ ශූරයෙකු වන මංජුල කුමාර විජේසේකර මීටර 2.21කට ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම උස පැනීමේ ශූරයා වන මංජුල කුමාර විජේසේකරගේ මෙතෙක් උස පැනීමේ ඉහළම දක්ෂතාවය මීටර 2.27කි.

මේ අතර මීටර 800 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නේ ඉඳුනිල් හේරත්ය. ඒ විනාඩි 1 තත්ත්පර 49.45කටය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු හා එහි තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා “ලංකාදීප”යට පැවැසුවේ පිටියේ ඉසව් දෙකකදී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආසියානු ගෘහස්ථ පදක්කම් දිනා ගැනීම දක්වා ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි. එසේම මලල ක්‍රීඩාවෙන් මෙතෙක් වැඩිම පදක්කම් ශ්‍රී ලංකාව දිනාගත් ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලද මෙය වන බවද ඔහු පැවැසීය.

චෙස්, මලල ක්‍රීඩා, ටයිකොන්ඩෝ, බර ඉසිලීම හා මල්ලවපොර යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් 14 දෙනකු හා ක්‍රීඩිකාවන් හත් දෙනකු සහභාගි කර තිබේ.

ලබන බදාදා (27) දක්වා මෙවර ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 62කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් ක්‍රීඩා ඉසව් 21ක් සඳහා තරග වදිති.

මේ වනවිට (21) රටවල් 29ක් පදක්කම් දිනා සිටින අතර ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානයේ පසුවේ. සත්කාරක තර්ක්මෙකිස්ථානය රන් පදක්කම් 55ක්, රිදී පදක්කම් 38ක් හා ලෝකඩ පදක්කම් 130ක් දිනා ඒ වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. ඉන්දියාව රන් පදක්කම් 5ක් ලබා එහි නව වැනි ස්ථානයේ ඒ වනවිට පසුවිය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ආසියානු ගෘහස්ථ ක්‍රීඩා පදක්කම් 4ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.