Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 ක් හෙට පිටියට

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 ක් හෙට පිටියට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ භුබනේෂ්වර් හි කාලිංග ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක 22 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ තරග ආරම්භක දිනය වන හෙට (6 දා) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර විජේසේකර පුමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් සිය මූලික තරග වලට සහභාගිවීමට සුදානමින් සිටිති.

ඒ අනුව මංජුල කුමාර විජේසේකර (උස පැනීම), අජිත් ප්‍රේම කුමාර සහ දිලිප් රුවන් (මීටර් 400), හිමාෂ ඒෂාන් සහ විනෝද් සුරංජය සිල්වා (මීටර් 100), රුමේෂිකා රත්නායක (මීටර් 100), දිල්හානි ලේකම්ගේ  (හෙල්ල) සහ පී.ජි.එන් මදුෂිකා (මීටර් 400) අද දිනයේ ද මූලික තරග නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

දින 10කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ බහුතරයක් තරගාවලිය පැවැත්වෙන කාලිංග ක්‍රීඩාංගනයේ පුහුණුවීම් වල නිරත වී ඇති හෙයින් අද මුලික තරග නියෝජනය කරන පිරිස සිය පෞද්ගලික දක්ෂතා හොඳින් ප්‍රදර්ශනය කළ හොත් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබනු ඇතැයි පුහුණුකරුවෝ විශ්වාස කරති. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට පෙර ශ්‍රී ලංකාවේ දී අදහස් දැක්වූ පුහුණුකරුවන් දෙදෙනෙකු වන සජිත් ජයලාල් මහතා සහ භද්‍රා ගුණවර්ධන මහත්මිය  “අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික දක්ෂතා හොඳින් ප්‍රදර්ශනය කළහොත් පදක්කම් කිහිපයක් දිනා ගැනීමේ හාකියාව ඇතැයි” පැවසූහ.

මේ  අතර කණ්ඩායමේ කළමණාකරු ලාල් චන්ද්‍රකුමාර මහතා අදහස් දක්වමින් භුබනේෂ්වර පුහුණුවට දින 7කට කලින් පැමිණීම ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුටට පත්වන බවත් එම පිරිස දැන් කාලිංග ක්‍රීඩාංගනයට හොඳින් හුරු පුරුදු වී ඇති බවත්  පැවසීය.

මීට  දින කිහිපයකට පෙර මීටර් 4 X 100 පිරිමි  සහ මීටර් 4 X 400 සහය දිවීමේ  ඉසව් දෙකේ  යෂ්ඨිය හුවමාරු  පුහුණු සැසියේදී හිමාෂ ඒෂාන්, මොහොමඞ් සිෆ්රාන්, විනෝද් සුරංජය සිල්වා සහ ෂෙහාන් අඹේපිටිය  තෝරාගෙන ඇති අතර 4 X 400 පිරිමි සහය ඉසව්ව සඳහා අජිත් ප්‍රේම කුමාර,  දිලිප් රුවන්,  පී. එම්. ඩබ්ලිව්.ජී ධනංජය  සහ කාලිංග කුමාරගේ තෝරාගෙන සිටිති.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන කාලිංග ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර මටටමේ මලල ක්‍රීඩා තරගාවලියක් පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා හතක් පැවැත්වීමේ (මලල ක්‍රීඩා, හොකී, පැසිපන්දු, ටෙනිස්, පිහිණුම්, පාපන්දු සහ මේස පන්දු) පහසුකම් සපුරා තිබේ. ඔඩීෂා ප්‍රාන්තයේ ඇති ප්‍රධානම  හොකී  ක්‍රීඩාංගනය  ලෙසද මෙය හැදින්වේ.

වසර 7 ක කෙටි ඉතිහාසයකට හිමිකම් කියන මෙම ක්‍රීඩාංගනයේ 2014 හොකී ශූරයන්ගේ පිරිමි තරගාවලිය පවත්වා ඇති අතර ලබන 2018 වසරේ ලෝක ශූරතා පිරිමි හොකී තරගාවලිය පැවැත්වීමට යෝජනා කර ඇත්තේ ද මෙම ක්‍රීඩාංගනයේ දීය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 ක් හෙට පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.