Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් කණ්ඩායම 24 දා පිටත්වෙයි

වොලිබෝල් කණ්ඩායම 24 දා පිටත්වෙයි

නාමල් පතිරගේ - 2019 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ “කත්මණ්ඩු” හා “ෆොකාරා” යන නගර දෙකකදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් මෙම 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටිති.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ලබන දෙසැම්බර් 1 වැනිදා “කත්මන්ඩු” නුවරදී පැවැත්වීමට නියමිතය. ක්‍රීඩා උළෙල දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ.

 කෙසේ වුවත් වොලිබෝල් ඇතුළු ක්‍රීඩා ඉසව් කීපයක් මෙම 27 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. සාග් ක්‍රීඩා වොලිබෝල් තරගාවලිය (කාන්තා, පිරිමි) අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 3 වැනිදාය. වොලිබෝල් ඇතුළු තවත් ක්‍රීඩා ඉසව් කීපයකට අයත් ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩා උළෙලේ නිල ආරම්භයට පෙර කත්මන්ඩු බලා පිටත්ව යාමට නියමිතය.
ක්‍රීඩාංගණ පහසුකම් අඩුවීම හේතුවෙන් ක්‍රීඩා උළෙලේ නිල ආරම්භයට පෙර ක්‍රීඩා ඉසව් කීපයක් පැවැත්වීමට සත්කාරය දරන නේපාලය තීරණය කර තිබේ. ක්‍රීඩා ඉසව් 28 ක් මෙවර ක්‍රීඩා උළෙලට ඇතුළත්ය. ඒ අතර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියක් ද වේ.

වසර 2010 “ඩකා” සාග් ක්‍රීඩා උළෙලට අවසන් වරට විස්සයි - 20 ක්‍රිකට් ඇතුළත් විය. එහිදී ශ්‍රී ලංකාව රිදී පදක්කම හිමිකර ගත්තේය. අවසන් මහා තරගයේදී සත්කාරක බංගලාදේශය විසින් ශ්‍රී ලංකාව ලකුණු 6 කින් පරාජයට පත්කරමින් ක්‍රිකට් රන් පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ අෂාන් ප්‍රියන්ජන් විසිනි. මෙවර විශේෂත්වය ක්‍රිකට් (කාන්තා) විස්සයි20 තරගාවලියක් ද ඇතුළත් වීමය.

 මෙම 27 වැනිදා තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් අවසන් වරට පැවැති 2016 සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි වොලිබෝල් රිදී පදක්කම් දිනා තිබේ. එහිදී කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකම දිනා ගත්තේ සත්කාරක ඉන්දියාව විසිනි.

1991 දී කාන්තා වොලිබෝල් රන් පදක්කම දිනා ගැනීම මෙතෙක් ශ්‍රී ලංකාව සාග් ක්‍රීඩා වොලිබෝල් තරගාවලියක ලද උසස්ම ජයග්‍රහණයයි.

ලෝක කුසලාන (2022 - කටාර්) ආසියානු කලාප දෙවනි වටයේ තරගයකට මෙම 19 වැනිදා තුර්ක්මෙනිස්ථානයට එරෙහිව “ඇස්ගාබට්” නුවරදී තරග වදින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එයින් අනතුරුව සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියට සහභාගි වෙයි. මේ අතර මෙම 21 වැනිදා බංගලාදේශයේ “ඩකා” නුවරදී ආරම්භ වීමට නියමිතව තිබූ “බන්ගාබන්දු” කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා එයින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඇස්ගාබට් නුවර සිට කෙළින්ම “ඩකා” නුවර බලා පිටත්ව යාමට සැලසුම් කර තිබුණි.  එසේ වුවත් පෙරේදා (11) එම තරගාවලිය අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය හමුවේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙම 28 වැනිදා සාග් ක්‍රීඩා තරග සංචාරය ඇරඹීමට දැන් තීරණය කර තිබේ.

 සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ වයස 23 න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් වන අතර කෙසේ වුවත් ඊට සහභාගි වන කණ්ඩායම්වලට වයස 23 න් ඉහළ ක්‍රීඩකයන් තිදෙනෙකු ද ඇතුළත් කර ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

 සාග් ක්‍රීඩා පාපන්දු 2016 තරගාවලියේදී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත්ව නොමැත. එහිදී ශ්‍රී ලංකාව මූලික වටයේදී ඉන්දියාවට (0-1) හා මාලදිවයිනට (3-1) පරාජය වීමෙන් පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව අහිමි විය. එහිදී රන් පදක්කම දිනා ගත්තේ නේපාලය විසිනි.

 ක්‍රීඩා උළෙලට සහභාගි වන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර සියලු ක්‍රීඩා ඉසව් වෙතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 700 කට ආසන්න කණ්ඩායමක් සහභාගි කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා හෑන්ඞ්බෝල් (අත්පන්දු) සම්මේලනයේ සභාපති මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා මෙවර 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

තරග සංචාරයේ වියදම් අවම කිරීම සඳහා පදක්කම් දිනා ගැනීමේ අවස්ථා නැති ක්‍රීඩා ඉසව් කීපයක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගිත්වය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය මේ වන විට වෙනස් වී ඇතැයි ද වාර්තා වේ.

 ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තමන්ට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කෙසේ වුවත් හැකිතාක් ඔවුන්ට තරග සංචාරය සඳහා අවස්ථාව සලසා දෙන ලෙස තමා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩිදුරටත් පැවසීය. සාග් ක්‍රීඩා තරග සංචාරයේ වියදම ඇස්තමේන්තු ගත කර ඇත්තේ රුපියල් මිලියන 344 ක් ලෙසය.


අදහස් (0)

වොලිබෝල් කණ්ඩායම 24 දා පිටත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.